News

ස්වර්ණාභරණ

කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ සිදුකළ විශාලතම ස්වර්ණාභරණ වැටලීම

රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (4,30,00,000) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ එරට ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු 45 හැවිරිදි සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයෙක් බවයි එම නිලධාරීන් සදහන් කළේ.

සැකකරු අද අලුයම 2.30 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ සහ ඔහු හැද සිටි කළිසමේ සාක්කු වල අත් පළදනා 229 ක් , මාල 175 ක් , තැල්ල සහිත උත්සව අවස්ථාවලදී පළදින මාල 88 ක් , වළලු 16 ක් සහ පෙන්ඩන්ට් 06 ක් සගවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

මෙම ස්වර්ණාභරණ තොගයේ මුළු බර කිලෝ 07යි ග්‍රෑම් 212 ක් බවත් , මෙය ගුවන් තොටුපොළ ඉතිහාසයේ සිදු කළ විශාලතම ස්වර්ණාභරණ වැටලීම බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පවසා සිටියා.

මෙම සිංගප්පූරු ජාතිකයා මීට පෙර සිව් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවත් සහ ඔහු මෙම ස්වර්ණාභරණ තොගය සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහන කළ පුද්ගලයා බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබෙනවා.