නවතම ප්‍රවෘත්ති

කරුවලගස්වැව,අළුත්ගම ගම්මානයේ ජනතාවට වන අලින්ගෙන් කරදර

රාත්‍රී කාලයේ කඩා වන අලින් රංචුවක් තම වගා බිම් විනාශ කරන්නට පටන් ගෙන ඇති බව පුත්තලම – කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අළුත්ගම ගම්මානයේ පදිංචිකරුවන් සදහන් කරති.

අළුත්ගම ගම්මානයට ආසන්නයෙන් පිහිටි රක්ෂිත වනාන්තරයක දිවා කාලයේ කාලය ගත කරන මෙම වන අලින් රාත්‍රී කාලය එළඹෙන විට ගම්මානයට කඩා වැදීම සිරිතක් කරගෙන ඇති බවද ගම්වැසියන් සදහන් කරති. කුඹුරු ගොවිතැනට අමතරව ගොඩ ගොවිතැන් වලටද හානි කරන මෙම වන අලි රංචුව පසුගිය දින කීපය තුළ විශාල විනාශයක් සිදු කර ඇත බව ගම්වැසියන් කියති.

පසුගිය දින දෙකක කාලය තුළ අළුත්ගම ගම්මානයේ පදිංචි සංජීවනී ප්‍රියදර්ශණී මහත්මියගේ ගෙවත්තේ වගා කර තිබූ ගස් ලබු ගස් 132 ක් විනාශ කර දමා ඇත. ඒ ආසන්නයේම පදිංචිකරුවෙකු වන එබ්ලිව්.කේ.මුණවීර මහතාගේ ගෙවත්තේ තිබූ කෙසෙල් සහ පොල් වගාවක්ද වන අලි රංචුව විසින් විනාශ කර දමා ඇත.

ඇතැම් අවස්ථා වලදී මෙම වන අලින් තම නිවාස ආසන්නයෙන්ම ගමන් කරන නිසා ජීවිත අවදාමක්ද ඇති බව ඔවුන් කියා සිටී. මේ සම්බන්ධයෙන් විමසූ විට වන ජීවී නිලධාරීන් සදහන් කරන්නේ වන අලි ගැටළුව කරුවලගස්වැවට පමණක් නොව පොදුවේ පුත්තලම වන ජීවී කලාපයටම පොදු එකක් වී ඇති බවයි. මේ වන විට අලි වැටවල් ශක්තිමත් කිරීම ආරම්භ කර ඇති බවත්,ජනතාව දැණුවත් කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔවුන් සදහන් කරයි.