News

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණු නිරෝගිමත් යහපත් පුරවැසියෙකු වීමේ වැදගත්කම ජනපති කියයි

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ වැඩසටහන මෙම මාර්තු 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

එම නව ගොඩනැඟිල්ල කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ Block D හි ස්ථාපිත කර ඇති අතර එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙනයාමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බවත් එය මැඩපැවැත්වීම වෙනුවෙන් සිසුන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් සුජාත දරුවෝ වැඩසටහන මඟින් ක්‍රියාත්මක වන බවය.

අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දායකත්වයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් ද සහභාගී කරවා ගනිමින් ඉතා මිත්‍රශීලි වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ දැයේ දරු පරපුර අතරට ගෙන යන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙරට කීර්ති නාමය ලෝකය හමුවට ගෙන යන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සහ තහනම් උත්තේජක භාවිතයෙන් වැළකුණු සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගිමත් යහපත් පුරවැසියෙකු වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර තහනම් උත්තේජක භාවිතය මැඩපවත්වා පිරිසිදු ක්‍රීඩාවක් හා විනය ගරුක ක්‍රීඩා පරපුරක් මෙරටෙහි බිහි කිරීම වෙනුවෙන් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ක්‍රියාත්මක කළේය.