News

කාසල්රි ජලාශයට ගලා එන තෙල් ගැන ආරක්ෂක අංශ කළ හෙළිදරව්ව

කාසල්රි ජලාශයට දිනපතා විශාල වශයෙන් තෙල් ප්‍රමාණයක් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ අවධාරණය කරයි. ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියි.

එසේ ගලා එන තෙල් ජලාශ වේල්ල අභියස තැන්පත් වන බවත්, විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරිමෙන් පසු එම තෙල් තට්ටු කැළණි ගගට ගලා යන බවයි ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටින්නේ. කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව මහඑලිය රක්ෂිතයේ සිට ගලා බසින කෙසෙල්ගමුඔයෙන් සහ හැටන් සිට කාසල්රි ජලාශයට දික්ඔය ඇළ මාර්ගය ඔස්සේ ජලය ගලා බසි.

කෙසෙල්ගමුඔය මේ දිනවල නොර්වුඩ් ප්‍රදේශයෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් පුළුල් කිරිමේ කටයුතු සිදු කරන අතර කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින ගංගා සහ ඇළ මාර්ග අවට තේ කර්මාන්ත ශාලා ගණනාවක්ද පිහිටා තිබේ. කාසල්රි ජලාශයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ග සහ ගංගා වලට මෙසේ ඉතා සුක්ෂම ලෙස තෙල් මුදා හැරිම නිසා කාසල්රි ජලාශයට තෙල් තට්ටු වශයෙන් ගලා එන බවයි ආරක්ෂක අංශ කියා සිටින්නේ.
තෙල් තට්ටු ගලා එම සම්බන්ධයෙන් පරිසර අධිකාරිව්‍ය වෙත දැනුවත් කර ඇති බවත්, පරිසර නිලධාරින් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියි.

කාසල්රි ජලාශයට ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් මිරිදිය මසුන් විශාල ප්‍රමාණයක් මුදා හැරි බවත්, ජලාශයේ මෙසේ තෙල් ගලා එන්නේ නම් එම ජලාශයේ වෙසෙන මත්ස්‍යයින්ටද දැඩි බලපැමක් එල්ල වන බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් කියා සිටින්නේ.

හැටන් – රංජිත් රාජපක්ෂ