කැස්බෑවන් මස් කළ පුද්ගලයෙකුට වැඩ වරදි
කැස්බෑවන් තිදෙනෙකුව අල්ලා ගෙන එම සතුන් මස් කරමින් සිටි පුද්ගලයෙකුව මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
06 වැනිදා සවස මාරවිල පොලිස් වසමේ කටුනේරිය – සිරිමැදුර වැල්ල තීරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු සතුව තිබී මස් කරන ලද කැස්බෑවෙකුගේ ශරීර කොටස් සහ මස් කිරීමට සුදානම් කර තිබූ ඝාතනය කරන ලද කැස්බෑවන් දෙදෙනෙකුවද, තෙප්පමක් සහ මසුන් මැරීමට යොදා ගන්නා දැලැක්ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුව ගෙන ඇති සැකකරු මාරවිල – කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු විසින් ඝාතනය කර ඇත්තේ ශරීරයේ මුදු හතක් දක්නට ඇති දුර්ලභ ඝනයේ කැස්බෑවන් විශේෂයක් බව වැටලීම කළ නිලධාරීන් කියයි.
සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මාරවිල පොලීසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධන,උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයමහ,සහ සුදේශ් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
ජුඩ් සමන්ත