News

කුඩු චූටිට වෙඩි තැබූ පුද්ගලයා STF අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ දී ආශා ෆාරි නොහොත් කුඩු චූටි නැමැත්තියට වෙඩි තැබීමට සැකපිට පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(22) රාත්‍රීයේ අත්අඩංගුවට පත්වූ මෙම සැකකරු වයස අවුරුදු 21 වු, කොළොන්නාව, ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලී නැමැත්තෙක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මොහුව අදාළ නිවාස සංකීර්ණය අසලදී හෙරොයින් ග්‍රෑම් 10 ක්, රුපියල් 34,000 ක මුදල් හා ජංගම දුරකථනයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කංජිපානී ඉම්බ්‍රාන් නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙක් බවට ද කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.

සැකකරු මේ වන විට සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළා.

අද (23) කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7ක් රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද පොලීසිය පවසනවා.

ග්‍රෑන්ඩ්පාස්, මැල්ලවත්ත ප්‍රදේශයේ පෙබරවාරී 14 වන දා රාත්‍රීයේ අදාළ කාන්තාව නිවසේ ආලින්දයේ රූපවාහිනිය නරඹමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.

නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙම වෙඩි තැබීම සටහන්ව තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් එම කාන්තාවගේ මුහුණට සහ පපු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඇය ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරමේ නිරත වයස අවුරුදු 39 ක් වු ආශා ෆාරි නොහොත් කුඩු චූටි නමින් හැඳින්වෙන තැනැත්තියක් මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.

මෙම කාන්තාව මේ වනවිට ඩුබායිහි මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවේ පසුවන බව කියන කංජිපානි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරිඳ බවට තොරතුරු වාර්තා වී ඇතැයිද පොලීසිය පවසනවා.