රුපියල් කෝටියක් පමණ වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට
මන්නාරම,වංකාලෙයි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කොකේන් ග්‍රැම් 983 ක් ඊයේ(24) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම පොලිසිය පවසයි.
මන්නාරම පොලිසිය පැවසුවේ මන්නාරම නාවික හමුදා නිළධාරීන් හා මන්නාරම කොට්ඨාශ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකළ මෙහෙයුමකදි අදාළ කොකේන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනෙන ලද කෝකේන් තොගය බෙදාහැරීම වෙනුවෙන් වංකාලෙයි වෙරළ තීරයේ සඟවා තිබියදී සොයාගත් බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් කොකේන් තොගය රුපියල් කෝටියක පමණ වටිනායකමින් යුතු වන අතර, අදාළ කොකේන් තොගය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
මන්නාරම පොලිසිය පැවසුවේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනෙන ලද ගංජා මන්නාරම, තලෙයිමන්නාරම,පේසාලෙයි, සිලාවතුර වෙරළ තීරයන් ඔස්සේ මෙරටට රැගෙනවිත් ජාවාරම්කරුවන් විසින් මෙරටට බෙදාහැරීම සිදුකරන බවයි.
මන්නාරම පොලිසිය පැවසුවේ පසුගිය සමයේ ඉන්දියාවේ සිට තීරුබදු ගාස්තු නොගෙවා බෝට්ටු මඟින් මෙරටට ගෙනන ලද බීඩි කොළ, කේරළ ගංජා, කොකේන් හා අයිස් වැනි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මන්නාරම සාගර කලාපයේදී නාවික හමුදා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.


මාධව කුලසූරිය
