ගාමිණී සෙනරත්ගේ නඩුවේ විත්තියේ නීතිඥවරු කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වනදා
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 04දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරු කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නිවේදනය කරයි.
සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය අද (11) දින ලබා දී ඇත.
මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති අතර විත්තිවාචකය නොකැඳවාම ඔවුන්ව නිදහස් කරන මෙන් විත්තියේ නීතිඥවරුන් විසින් මීට පෙර ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය වෙත ලිඛිත දේශනා ඉදිරිපත් කළේය.
මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වන දා ප්‍රකාශයට පත් කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත.
මෙහිදී නඩුවේ දෙවන විත්තිකරු වන පියදාස කුඩාබාලගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට යුරෝපයේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය වීසා ලබාගැනීමේ කාර්යය සඳහා පමණක් සති තුනක කාලයකට මුදා හරින මෙන් ඉල්ලා සිට ඇත.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය සති 3ක කාලයක් සඳහා මුදා හැරීමට නියම කළ අතර විදේශගත වන්නේ නම් අධිකරණය දැනුවත් කළ යුතු බව නියම කර ඇත.
2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.