කතුවැකි

ගුරුවරයා යනු උත්තම පුරුෂයෙක් වූයේ ඉස්සරය

අප ඊයේ මෙම තීරයෙන් අවධාරණය කර සිටියේ කුමන ආපදා තත්ත්වයකදී වුවත් අපගේ මනුස්සකම පරීක්ෂාවට ලක්වීමට ඉඩ නොතැබිය යුතු බවය. අපට එසේ ලියන්නට සිදු වූයේ කොරෝනා වෛරස් ආපදාව හමුවේ ඇතැමුන් අමනුස්සයන් ලෙස හැසිරෙන්නට පටන්ගෙන ඇති බැවිනි.

අප මිනිසුන් ලෙස කොතරම් පහත් තැනකට වැටී ඇත්දැයි තේරුම් ගත හැකි කදිම පුවතක් ඊයේ (29 වැනිදා) අප පුවත්පත වාර්තා කර තිබිණි. පුවත වාර්තා වූයේ මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකිනි. හුස්ම ගැනීමේ අපහසුවකින් පෙළුණු එම පාසලේ දහතුන් හැවිරිදි සිසුවියක රෝහලට ගෙන යෑමට කිසිදු ගුරුවරියක ඉදිරිපත් නොවීම එම පුවතය. ගුරුවරුන් විසින්ම සුවසැරිය ගිලන් රථයක් ගෙන්වීමට කටයුතු කර ඇතත් රෝගී දැරිය සමග රෝහලට යෑමට කිසිවකු ඉදිරිපත් වී නැත. විනාඩි පහළොවක පමණ කාලයක් තිස්සේ කිසිවකු ඉදිරිපත් නොවීම නිසා පාසල අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින්ගේ මැදිහත් වීමෙන් රෝගී දැරිය රෝහලට ගෙන යෑම සිදුව තිබේ. ගුරුවරුන් මෙලෙස කටයුතු කර ඇත්තේ සිසුවියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යන සැකය මතය.

මේ පුවත දුටු ඕනෑම අයකුට ‘මුන් ගුරුවරු දැයි’ සිතෙන්නට ඇතිවාට සැක නැත. අපට නම් අසන්නට ඇත්තේ ‘මුන් මිනිස්සු දැයි’ යනුවෙනි. මේ අය ගුරුවරුන් වීමට පෙර මනුස්සයන් වන බැවිනි. සැබෑ මනුස්සයකු නම් තමන් වැනිම ප්‍රාණියකුගේ ජීවිතය අහිමිවන්නට ඉඩ නොතබන බව සහතිකය. වැඩිහිටියකු කෙසේ වෙතත් තමන් දෙවිවරුන් යැයි සිතා සිටින තමන්ගේම සිසුවෙකු ජීවිතයත්, මරණයත් අතර සිටින අවස්ථාවක හිතාමතාම ඊට මැදිහත් නොවන අයකු හැඳින්වීමට ඊටත් වඩා උචිත යෙදුමක් අපට නම් නැත.

හුස්ම ගැනීමේ අපහසුවක් ඇති අයකුගේ ජීවිතය නැතිවන්නට තත්ත්පරයක කාලයක් වුව ප්‍රමාණවත්ය. මේ කුඩා දැරිය විනාඩි පහළොවක පමණ කාලයක් කිසිවකුගේ අවධානයට ලක් නොවී සිටි බවද අප පුවත් වාර්තාවේ සඳහන්ව තිබිණ. අවසානයේ පොලිස් නිලධාරින්ට ඒ බව දන්වා ඇත්තේ ගිලන් රථයේ රියැදුරු විසිනි. ඒ ‘මිනිසාට’ත් ඔහු වැනිම මනුස්සකම තිබු පොලිස් නිලධාරින්ටත් හදවත් ඇති අප කාගේත් ප්‍රශංසාව හිමි විය යුතුය.

කුඩා දරුවන් සමාජයේදී අනාරක්ෂිත වීම බොහෝ සංවේදී මාතෘකාවක් ලෙස සමාජයේ කතාබහට ලක්වන්නකි. එහෙත් දෙවැනි මවුපියන් ලෙස සැලකෙන ගුරුවරුන් සෙවණේදීම ඔවුන් මෙලෙස අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් කළ හැක්කේ කුමක්ද? අතීතයේ වැඩිහිටියන් තම දරුවන් පාසලට භාර දුන්නේ ගුණ නැණ බෙලෙන් යුතු මිනිසුන් ලෙස සමාජයට එක් කරනු ඇතැයි අපේක්ෂාවෙනි. දරුවා පාසලේ සිටින කාලය තුළ ඔහුගේ ආරක්ෂකයාද, භාරකරුවාද, අම්මාද, තාත්තාද වූයේ ගුරුවරයාය. ඇත්තෙන්ම තමන්ගේ රස්සාව සමාජ වගකීමක් ලෙස සැලකූ එදා ගුරුවරයා ඒ වගකීම මැනවින් ඉටුකරන්නට පියවර ගත්තේය. ගුරුවරයා දරුවන්ගේ දෙවැනි මාපියන් වූයේද, දෙවියන් ලෙස සමාජයෙන් සැලකුම් ලැබුවේද ඒ නිසාය.

එහෙත් අද මේ දෙවිවරු කරන්නේ කුමක්ද? තම පාසලේ සිසු සිසුවියන් අපයෝජනය කරන ගුරුවරුන් ගැන වාර්තාවන පුවත් අපමණය. දරුවකුට පාසලේදී යම් අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ඔහුව රෝහල්ගත කරන්නට කොයි ලෝකයේ හෝ සිට මව හෝ පියා පැමිණිය යුතුය.

දරුවන්ගේ ආරක්ෂාව එසේ වෙද්දී අවම වශයෙන් පාසලෙන් නිසියාකාරව අධ්‍යාපනය හෝ ලබන්නේ නම් හිත සනසාගත හැකිය. ආණ්ඩුවෙන් පවත්වන විභාගවලට පෙනී සිටිය යුතු නිසා පාසල් යන දරුවාට විෂය නිර්දේශය සම්පූර්ණ කර ගැනීමට සිදුවන්නේ ටියුෂන් පන්තියෙනි. විස්මිත කාරණය වන්නේ පාසලේදී භාගෙට උගන්වන ගුරුවරයා එය සම්පූර්ණ කරන්නේ ටියුෂන් පන්තියේදී වීමය.

පාසලෙන් ලැබිය යුතු ගුණ, නැණ දෙකෙන් නැණ ගැන තත්ත්වය එසේ වෙද්දී ගුණ ගැන කවර කතාද? නැණ ටියුෂන් පන්තියෙන් ලබාගන්නා දරුවා ගුණ ලබා ගන්නේද ටියුෂන් සමාජයෙනි. එසේත් නැතිනම් මහ පාරෙනි. අන්තර්ජාලයෙනි. තත්ත්වය එසේ වුවත් ගුරුවරු තමන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් දරුවන්ගේ විභාග පවා අඩපණ කරමින් වර්ජන, තර්ජන කරන්නට නම් කිසි විටෙක මැලිවන්නේ නැත.

සියලු සුදුසුකම් සපුරා තිබියදී වුවත් දරුවකු පාසලකට ඇතුළු කරන විට දොළ පිදේනි පුදන්නට දෙමාපියන්ට සිදු වේ. ඉන්පසු ගුරුවර ගුරුවරියන්ට සාරි බාරි, ස්වර්ණාභරණවල සිට විදේශ සංචාර දක්වා සංග්‍රහ කළ යුතුය. පාසලේදී දරුවාට සැලකිලි ලබා ගැනීම කෙසේ වෙතත් නොසලකා සිටීම වළක්වා ගන්නට නම් පාසලේ ගුරුවරයාගේ ටියුෂන් පන්තියටද යා යුතුය. මෙවැනි තත්ත්වයක් තුළ දරුවා තේරුම් ගන්නේ කිසිවක් නැතත් සල්ලි ඇත්නම් ඕනෑම දෙයක් කළ හැකි බවය. ඒ නිසා ඔවුන්ද ගුරුවරයාට වඳිනවා වෙනුවට මුදලට වඳින පුදන පිරිසක් බවට පත්වෙති. පාසලෙන්, සමාජයට පා තබන්නේ එවැනි ගුණයක් සහිත දරුවන්ය. අද ගුරුවරුන් බවට පත්ව සිටින්නේද, අඩු වැඩි වශයෙන් මේ ගුණ නැණ ලබාගත් අයය.

සමස්ත ගුරු පරම්පරාවම මෙවැනි දුර්ජනයන් යැයි අප කියන්නේ නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරුන් ලෙස කටයුතු කරන අතළොස්සක්ද සිටින බව ඔවුනට උපහාරයක් ලෙස සටහන් කළ යුතුය. එහෙත් ඔවුන්ටද ගුරුවරුන් ලෙස නිදහසේ කටයුතු කරන්නට සමාජය ඉඩ දෙන්නේ ද නැත.

අතීතයේ ගැමියා දරුවකු පාසලට භාර දුන්නේ ‘‘ගහලා බැණලා හරි කමක් නෑ – මේකා මනුස්සයෙක් කර දෙන්නැයි’’ ගුරුවරයාගෙන් ඉල්ලමිනි. නමුත් අද අප දරුවන් පාසලට යවන්නේ කඩයකින් භාණ්ඩයක් මිලදී ගන්නට එන පාරිභෝගිකයකු සේය. ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ගනුදෙනුවක් මිස ඉන් එහා යමක් නැත.

වරද අප සියල්ලන්ගේමය.