News

ජනපති – අගමැති බල අරගලය ගැන ඒකාබද්ධය විවාදයක් ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව අතර ඇති වී තිබෙන බල අරගලය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (13) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී මේ බව තීරණය කර තිබේ.

පසුගිය කාලයේදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර වූ ඝට්ඨනය දැඩිව දක්නට ලැබිණි.

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ පුරප්පාඩුවලට අගමැතිවරයා යොමු කළ නම් වෙනුවට දැනට එම අමාත්‍යාංශවල සිටින රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩ බැලීම සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බුද්ධි අංශ කැඳවීම නතර කරන තෙක් කැබිනට් මණ්ඩලය වාරණය කරන බවටද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව පසුගිය සතියේ 11 වෙනිදින පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීම නොපැවැත්විණි.

කෙසේ වෙතත් මින් ඉදිරියට කැඳවන බුද්ධි අංශ නිලධාරීන් සාක්ෂි ලබාදීම මාධ්‍යයට ආවරණය කිරීමට නොදීමට තීරණයකට එළඹෙන බවට වූ තත්ත්වයන් මත ලබන 18 වැනි දින යළි කැබිනට් මණ්ඩලය පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මධුභාෂණ හේරත්