News

ජනාධිපති කොමිසමට තවත් සතියක කාලයක්

රාජ්‍ය ආයතනයන්හි දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාරගැනීම ජනාධිපතිවරයාගේ නියෝගය මත අද (07) සිට තවත් සතියක් දීර්ඝ කර තිබෙනවා.

අද (07) එම පැමිණිලි බාරගන්නා අවසන් දිනය හැටියට නම්කර තිබුණා.

ජනපති නියෝගය අනුව ලබන 14 වැනිදා දක්වා ද පැමිණිලි කිරීම් හා තොරතුරු ලබාදීම් කළ හැකි බවයි එහි නිලධාරියෙකු පැවසවේ.

ජනාධිපති කොමිෂන් සභාවෙන් 2015 ජනවාරි මස 14 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනයන්හි වූ දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි හා තොරතුරු ලබාදිය හැකියි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් ඉකුත් ජනවාරි 17 වැනිදා පත්කෙරුණා.

ඉහත සඳහන් එක් කරුණක් හෝ කරුණු කිහිපයකට අදාළ ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දුෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කාමර අංක 210, (බ්ලොක් 02) දෙවෙනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකියි.