News

ජොන්ස්ටන් නඩු හතරකින් නිදහස්

වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඔහු නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩු අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවල පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට ද නියම කළේය.

අමාත්‍යවරයෙකකු ලෙස කටයුතු කළ අවධියේ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩු හතර ගොනුකර තිබුණි.