දහසක වතු වැටුප නවතන්න හාම්පුතුන් උසාවියේ
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවට පඩි පාලක සභාව ගෙන ඇති තීරණය අහෝසිකර ඊට අදාළව නිකුත් කර ඇති ගැසට් පත්‍රයද අවලංගු කරන ලෙස ඉල්ලා වතු හාම්පුතුන් විසිදෙනකු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ 15 වැනිදා මේ බව ප්‍රකාශ කළේය.
දැනට වතු සමාගම් විසිදෙකක් ක්‍රියාත්මක බවත් ගැසට් නිවේදනය අනුව වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික දීමනාව ගෙවන්නේ වතු සමාගම් දෙකක් පමණක් බවත් ඇමැතිවරයා පවසයි.
වතු සමාගම් අභියාචනාධිකරණය හමුවේ පසුගිය 10 වැනිදා ගොනු කර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු ඇමැතිවරයා” පඩි පාලක සභාවේ සභාපතිවරයා වන කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පඩි පාලක සභාවේ සාමාජිකයන් ඇතුළු දහඅටදෙනෙක් නම්කර ඇත.
තමන් මේ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කළ බව කී ඇමැතිවරයා කම්කරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට නීතිපතිවරයා එකඟවූ බවද පැවසුවේය. පෞද්ගලික සමාගම්වලට බදුදී තිබෙන්නේ රජයේ දේපළ බව කී ඇමැතිවරයා සහයෝගයෙන් කටයුතු කරනු වෙනුවට එම සමාගම් රජය සමග ගැටුම් ඇතිකර ගැනීම කනගාටුවක් බව කියයි.
කෙසේ හෝ වතු කම්කරුවන්ට මෙම වරප්‍රසාදය ලබා දෙන බවද කියන ඇමැතිවරයා අවශ්‍ය නම් රුපියල් දහසේ දෛනික දීමනාව ගෙවීම සඳහා පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන එන බවද අවධාරණය කළේය.
නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.
අජිත් අලහකෝන්