දුප්පත් පොහොසත් බේදයකින් තොරව සැමට එකසේ නීතිය ක්‍රියාත්මක කරනවා – අනුර
දුප්පත් පොහොසත් බේදයකින් තොරව සැමට එකසේ නීතිය ක්‍රියාත්මක කරන රටක් නිර්මාණය කිරීම වගකීමක් කොට සළකන බවත් සියළු ජාතීන්ට තම අනන්‍යතාව රැකෙන පරිදි විශ්වාසයෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අකුරැස්සේදී පැවසීය.
අකුරැස්ස තිබ්බොටුවාව නගරයේදී ජාතික ජන බලවේගයේ ජන හමුව පැවැත්විනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.
අපි ජාතික ආරක්ෂාව තහවුරු කරනවා. යුද ටැංකි , යුද කඳවුරු රට පුරා ඇතිකිරීම එයට විසඳුම නෙවි. සියළුම ජාතීන්ට ජාති බේදයකින් තොරව තම අනන්‍යතාවය රැකෙන ආකාරයට විශ්වාසයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට මූලික කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතුයි. පළමුව නීතියේ සහ විධානයේ ආධිපත්‍යය තහවුරු විය යුතුයි. බලවත් , ධනවත් අයට එන විධියකටයි , දුබලයින්ට තවත් විධියකටත් නීතිය ක්‍රියාත්මක නොවිය යුතුයි. අපේ පොලිසිය විශිෂ්ඨ සේවාවක් ඉටුකරනවා. නමුත් දේශපාලන අත පෙවීම් නිසා ඔවුන්ට තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකිවී තිබෙනවා. ඒ තත්වය වෙනස් කළ යුතුයි. පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් බවට පත්කිරීම අපේ වගකීමක්. වංචා දූෂණය නැති කිරීමට අපි පියවර ගන්නවා. මහජන දේපොළ සූරාකෑම , හොරකම , නාස්තිය තිබෙන තාක් කල් රටත් දියුණු කරන්න බැහැ. මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ඇති කළ යුතුයි. ජනතාව එකිනෙකා කෙරෙහි සැකයෙන් සහ අවිශ්වාසයෙන් සිටිනවා නම් රට ඉදිරියට යන්නේ නැහැ.
අපි අවුරුදු තිහක යුද්ධයක පැටලී සිටි රටක්. මේ මහ පොළොව ඇති කරම් ලේ වලින් තෙත් වෙලා තිබෙනවා. මේ ගම්මානවල ඇති තරම් මළ කඳන් ගොඩගැසී තිබුනා. ඒ නිසා මේ රටේ කුමන හෝ වර්ගයේ යුද්ධයක් යළි තිබිය යුතු නැහැ. ජාතික සමගිය ගොඩනැගිය යුතුයි. නමුත් කිසිදු ජාතිවාදියෙකුට ජාතික සමගිය තහවුරු කළ හැකි වන්නේ නැහැ. අභ්‍යන්තර ගැටුමකින් ආරක්ෂාව බිඳ වැටිය හැකියි. අන්තවාදී කණ්ඩායමක් තවත් කණ්ඩායමක් වෙත ප්‍රහාර එල්ල කිරීම , කටුවාපිටිය , දිගන , දර්ගා නගර සිදුවීම් උදාහරණ ලෙස ගත හැකියි. මේවා දැවැන්ත හමුදා සටන් නෙවෙයි ජන කණ්ඩායම් අතර ඇතිවන ගැටුම් පමණයි. මෙම ගැටුම් නැවැත්වීමට නම් කිසිම ජන කණ්ඩායමක අන්තවාදීන් බිහි නොවන ලෙස කටයුතු කළ යුතුයැයි කීය.
ජාතික භික්ෂු බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය හඳුගල රතනපාල හිමි , මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති , මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම , සරෝජා පෝල් රාජ් ඇතුළු කිහිප දෙනෙකුම අදහස් පළ කළහ.
