නව අවරුදු උදාව අද පස්වරුවේ
රටටත් ජනතාවටත් සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන සිංහල , දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට මේ වනවිට රටම සූදානමින් ඇත.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් පිළියෙල කරනු ලැබූ නැකැත් වේලාවන් අනුව මෙවර අලුත් අවුරුද්ද උදාවන්නේ අද සවස 2.09 ට යෙදෙන සුබ නැකතෙනි.
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද උදෑසන 7.45 සිට රාත්‍රී 8.33 දක්වා යෙදී ඇති අතර අද උදෑසන 7.45 ට පළමුව ආහාර ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව ජ්‍යෝතිෂයේ සඳහන් වෙයි.
අද සවස 02.42 ට ආහාර පිසීමේ නැකත යෙදී ඇති අතර ජ්‍යෝතිෂයේ සඳහන් වන්නේ, රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී, නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ කැවුම් යන කැවිලි වර්ග ද පිළියෙල කර ගැනීම සුදුසු වන අතර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව නැකත යෙදී ඇත්තේ අද සවස 3.54 ටය.
ඒ අනුව රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව ජ්‍යෝතිෂයේ සඳහන් වෙයි.
මෙවර හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් 17 වැනි බදාදාටය. එදින උදෑසන 7.40 ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බව ජ්‍යෝතිෂයේ සඳහන්ය.
අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා අලුයම 4.52 කට අලුත් අවුරුද්දේ රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇති අතර
පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්වයාම සුබ බව නැකත් පත්‍රයේ සඳහන්ය.