News

‘‘නැත්ත වෙනුවට – ඇත්ත’’ කාගේ බූදලයක්ද?

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් ලක්ෂ 10ක (ප්‍රථමයෙන් වාර්තා වූයේ රුපියල් කෝටියක්) වන්දියක් ගෙවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කිරීම මේ දිනවල කතාබහට ලක්වන සිද්ධියක් බවට පත්ව තිබේ.

විමල් වීරවංශට මෙම අධිකරණ නියෝගය නිකුත් වූයේ ඔහු විසින් සම්පාදිත ‘‘නැත්ත වෙනුවට ඇත්ත’’ නමැති කෘතිය හේතු කොට ගෙනය. එම ග්‍රන්ථයට ඇතුළත්ව තිබුණේ ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපා හැරීමට පසුබිම් වූ කරුණුය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයාව සිටි විමල් වීරවංශ 2008 වසරේ එම පක්ෂයෙන් නෙරපා හැරීමෙන් පසු එම වසරේම ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය ප්‍රකාශයට පත් කළේය.

ඉන්පසු ඒ සම්බන්ධයෙන් බුද්ධිමය දේපොළ පනත යටතේ නඩුවක් පවරන ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා චෝදනා කර සිටියේ විමල් වීරවංශ පක්ෂයේ බුද්ධිමය දේපොළ සොරකම් කර එම කෘතිය ප්‍රකාශයට පත් කර ඇති බවය.

කෙසේ වෙතත් මෙම ග්‍රන්ථයට ඇතුළත්ව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් කළ ලේඛන සහ අදහස් බැවින්ද ඒ බව එම කෘතියේ පැහැදිලිව සඳහන් කර ඇති හෙයින්ද, එය බුද්ධිමය දේපොළක් සොරා ගැනීමක් වන්නේ කෙසේද යන කාරණය මේ වන විට සාකච්ඡාවට ලක් වෙමින් තිබේ.

ඒ අනුව වාණිජ මහාධිකරණයේ තීන්දුව පිළිනොගන්නා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් කරන බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව මේ සිද්ධිය ගැන අවසන් නිගමනයට එළැඹිය හැකි වනු ඇත්තේ එකී තීන්දුවෙන් පසුවය. එම තීන්දුව කුමක් වුවත් එය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේද බුද්ධිමය දේපොළ විෂය අරභයාද සුවිශේෂී තීන්දුවක් වනු ඇත.

ඉඩම් නඩු, දේපොළ නඩු, මිනීමැරුම් නඩු, නඩත්තු නඩු, රථ වාහන නඩු වැනි විවිධාකාරයේ නඩු ගැන බොහෝ දෙනා දන්නා නමුත් බුද්ධිමය දේපොළ නඩු බොහෝ දෙනකුට ආගන්තුක විෂයකි. එවැනි නඩු දුලබ වීම නිසාය. මෑතකදී වාර්තා වූ බුද්ධිමය දේපොළ නඩුවක් වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර, උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව පැවරූ නඩුවයි.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ කෘතියේ සඳහන් පාඨ මුද්‍රණය කොට සන්නස්ගලගේ පෞද්ගලික පන්තියක සිසුන් අතර බෙදාහැරීම, සන්නස්ගලට එරෙහිව නඩු පැවරීමට නිමිත්ත වී තිබුණි.

ඒ වන විට මහාචාර්ය සරච්චන්ද්‍රයන් මියගොස් සිටියද ඔහුගේ නිර්මාණයන්හි අයිතිය බිරිඳ වූ ලලිතා සරච්චන්ද්‍රයන් සතුවිය. ඇයගේ අවසරයකින් තොරව උපුල් ශාන්ත සන්නස්ගල කටයුතු කර ඇති බවට අධිකරණයේදී කරුණු දක්වන ලදී.

සන්නස්ගලගේ පැහැදිලි කිරීම වූයේ උසස් පෙළ දරුවන් වෙනුවෙන් ඉගැන්වීම සඳහා ‘සාධාරණ භාවිතයට’ මනමේ කෘතියේ අන්තර්ගතය යොදාගත් බවයි. එම කෘතිය උසස් පෙළ සඳහා නිර්දේශිත වූවක් යැයිද පවසන ලදී. එහෙත් පැමිණිලි පාර්ශ්වයේ තර්කය වූයේ පාසල් සිසුන් සඳහා එලෙස යොදා ගැනීම සාධාරණ වුවත් සන්නස්ගල සිදු කර ඇත්තේ මුදල් පදනම මත උගන්වන පෞද්ගලික පන්තියක් සඳහා එම කෘතියේ අන්තර්ගතය යොදා ගැනීම බවයි.

එ් අනුව සන්නස්ගල බුද්ධිමය දේපොළ උල්ලංඝණය කොට ඇතැයි අධිකරණය තීන්දු කරන ලද අතර ලලිතා සරච්චන්ද්‍රට රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවීමට නියම කෙරිණි.

මෙලෙස බුද්ධිමය දේපොළ උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම් සිදුවන්නේ බුද්ධිමය දේපොළ පනතට අනුවය. 2003 අංක 36 දරන බුද්ධිමය දේපොළ පනතට අනුව ‘සාධාරණ භාවිතය’ සඳහා කර්තෘගේ අවසරයකින් තොරව නිර්මාණයක යම් යම් උපුටා ගැනීම් සිදු කළ හැකි අවස්ථා පවතී.

සාධාරණ භාවිතය යනු යම් කෘතියක හෝ නිර්මාණයක කොටස ප්‍රවෘත්තියක කොටසක් ලෙස උපුටා දැක්වීම, සෞඛ්‍ය ගැටලු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැනි සිද්ධීන් සඳහා යොදා ගැනීම වෙයි. ඩෙංගු පිළිබඳව පළ කරන්නට යෙදුණ ලිපියකින් කොටසක් මහජන සුබසිද්ධිය සඳහා නැවත උපුටා දැක්වීම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය.

සන්නස්ගල උත්සාහ දැරුවේ තමන් මෙවැනි ‘සාධාරණ භාවිතයක්’ සඳහා මනමේ කෘතියේ අන්තර්ගතය යොදාගත් බව පෙන්වීමටය. එහෙත් එම උත්සාහය ව්‍යර්ථ විය.

එමගින් පෙනී යන ආකාරයට බුද්ධිමය දේපොළ පනත මගින් යම් නිර්මාණයක කර්තෘ හිමිකම දැඩි ලෙස ආරක්ෂා කොට ඇත. මිනිසකු තම බුද්ධිය මෙහෙයවා කරනු ලබන නිර්මාණයන්ගෙන් මතුවන අයිතිවාසිකම් බුද්ධිමය දේපොළ යටතට අයත් වේ. ඒ අනුව නවකතා, කෙටිකතා, චිත්‍රපට, සංගීතය ආදී ක්ෂේත්‍ර මෙන්ම නව නිපැයුම්, සංයුක්ත පරිපථ, ශාක ප්‍රභේද ආදී පුළුල් විෂය පථයක් ඊට අයත්ය. එම විෂය ක්ෂේත්‍රයන්ට සුවිශේෂී වූ අයිතීන් සහ පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා බුද්ධිමය දේපොළ පනත බිහි වී ඇත.

නිර්මාණකරුවාගේ නිර්මාණයන්ටද දැඩි රැකවරණයක් සපයන මෙම බුද්ධිමය දේපොළ පනතේ මූලාරම්භය 1979 වර්ෂය දක්වා ඈතට දිව යයි. එවකට වෙළෙඳ ඇමැති ලලිත් ඇතුළත්මුදලිගේ මැදිහත් වීමෙන් ලෝක බුද්ධිමය දේපොළ සංවිධානයේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපොළ ආරක්ෂා කිරීමට ආයතනයක් පිහිටුවීමට තීරණය වෙයි.

මෙම වකවානුවේ ලෝක බුද්ධිමය දේපොළ සංවිධානයේ ආසියානු පැසිෆික් කලාපය භාර අධ්‍යක්ෂවරයා වූයේ ශ්‍රී ලාංකිකයෙක් වූ ලක්ෂ්මන් කදිර්ගාමර්ය.

ලලිත් ඇතුළත්මුදලිගේ ඉල්ලීම පරිදි ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ ද පූර්ණ මැදිහත් වීමෙන් බුද්ධිමය දේපොළ සඳහා කටයුතු කිරීමට පේටන්ට් හා වෙළෙඳ ලකුණු රෙජිස්ට්‍රාර් කාර්යාංශය 1979 වර්ෂයේදී බිහිවෙයි. එය 1979 අංක 52 දරන බුද්ධිමය දේපොළ නීති සංග්‍රහයට අනුව ස්ථාපනය කරන්නට යෙදී ඇත.

එවකට පේටන්ට් හා වෙළෙඳ ලකුණු රෙජිස්ට්‍රාර් කාර්යාංශය වර්තමානයේ ජාතික බුද්ධිමය දේපොළ කාර්යාංශය ලෙස නාමකරණය වී තිබේ. එහි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර්. රණවක පවසන ආකාරයට වර්තමාන බුද්ධිමය දේපොළ පනත මගින් විෂය ක්ෂේත්‍ර ගණනාවක්ම ආවරණය වෙයි. පේටන්ට් බලපත්‍ර, වෙළෙඳ ලකුණු, ප්‍රකාශන අයිතිය, කාර්මික සැලසුම්, භූගෝලීය දර්ශකය සහ පිළිසැකසුම් නිර්මාණ එම විෂය ක්ෂේත්‍රයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපොළ පරිපාලනය සඳහා වගකිව යුතු එකම රාජ්‍ය ආයතනය වන්නේ ජාතික බුද්ධිමය දේපොළ කාර්යාංශයයි.

ශාස්ත්‍රීය හා කලාත්මක කෘති ප්‍රකාශන අයිතිය මෙම බුද්ධිමය දේපොළවල එක් අංගයක් වෙයි. එහි ආර්ථික මෙන්ම සදාචාරාත්මක අයිතියක්ද ඇත.

අාර්ථික අයිතිය යටතේ කෘති ප්‍රති නිෂ්පාදනය, විකිණීම, කුලියට දීම, බෙදාහැරීම මහජනයා සඳහා සන්නිවේදනය කිරීම සහ පරිවර්තනය කිරීම අදාළ වෙයි.

කර්තෘත්වය සඳහා හිමිකම, කෘතිය හා සම්බන්ධ යම් විකෘති කිරීමකට අංග ඡේදනයකට හෝ වෙනයම් හීන කාරක ක්‍රියාවකට විරෝධය පෑමේ අයිතියත් සදාචාරාත්මක අංගයන්ට අයත් වූවකි.
දෙදහේ දශකයේ මුල් භාගයේ හඩ්සන් සමරසිංහ නමැති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා සංගීත් වික්‍රමසිංහ නමැති සංගීතවේදියාට නඩු පවරන්නේ ඔහුගේ නිර්මාණයත් විකෘති කිරීමේ චෝදනාව යටතේය.

හඩ්සන් සමරසිංහ විසින් රචිත
‘‘රඟහල දැන් ඇත අඩ අඳුරේ…
අප දෙදෙනා පෙම් පිළිසඳරේ…’’
ගීතය විකෘති කොට ගායනා කළේය යන චෝදනාව මත නඩු පැවරෙන්නේ සංගීත් වික්‍රමසිංහට එරෙහිවය. ඒ බුද්ධිමය දේපොළ උල්ලංඝණය කිරීම යටතේය.

කොළඹ වාණිජ අධිකරණයේ විභාග වූ එම නඩුවෙන් හඩ්සන් සමරසිංහගේ බුද්ධිමය දේපොළ උල්ලංඝණය වී ඇති බව අධිකරණය තීන්දු කරයි. ඒ සමගම රුපියල් ලක්ෂ 20ක වන්දියක් හඩ්සන් සමරසිංහට ගෙවන ලෙසද සංගීත් වික්‍රමසිංහට නියෝග කෙරිණි. එහෙත් හඩ්සන් සමරසිංහ පවසන්නේ තමන් එම මුදල ලබාගැනීමට උත්සුක නොවූ බවයි.

වාණිජ මහාධිකරණය දෙනු ලබන තීන්දුවක් පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. තම බුද්ධිමය දේපළ උල්ලංගණය වී ඇතැයි සිතන අයකු ඒ වෙනුවෙන් වන්දියක් හෝ නිවරදි කිරීමක් අපේක්ෂා කරන්නේ නම් වසර තුනක් ඇතුළත වාණිජ මහාධිකරණයේ නඩු පැවරිය යුතුය.

පේටන්ට් බලපත්‍ර, කාර්මික සැලසුම්, වෙළෙඳ ලකුණු ආදිය සඳහා ජාතික බුද්ධිමය දේපොළ කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු වුවත් ප්‍රකාශන අයිතිය සඳහා එවැනි ලියාපදිංචියක් අවශ්‍ය නොවේ. යම් නිර්මාණයක් ප්‍රකාශයට පත් කොට මහජනයාට එය පරිභෝජනය කළ හැකි දිනයේ සිට ප්‍රකාශන අයිතිය ආරක්ෂා වෙයි.

නැසීගිය ප්‍රවීණ කලාකරු අජන්තා රණසිංහගේ සියලු කලා කෘති ඔහුගේ බූදලයට අයත් වෙයි. ඔහුගේ උරුමකරුවන්ගේ අවසරයකින් තොරව එම කලා කෘති පරිහරණය කිරීම නඩු නිමිත්තක් වන බව නීතිඥ සමාගමක් මගින් පසුගියදා නිවේදනය කරන්නට යෙදුණි.

බුද්ධිමය දේපොළ පනතට අනුව යම් නිර්මාණයක් කළ කලාකරුවකු මියගොස් වසර 70ක් යනතෙක් එම නිර්මාණයෙහි අයිතිය ඔහුගේ උරුමකරුවන්ට පවතී. වසර 70න් පසු එය පොදු දේපොළක් බවට පත්වේ. එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත ගායනා නොකරන ලෙස තරුණ ගායකයකු වන එම්.ජී. ධනුෂ්කට වාරණයයක් සමපාත වූවකි.

‘දඩයම’ සිනමා පටය අධ්‍යක්ෂණය කළ වසන්ත ඔබේසේකරට එවකට නඩුවක් පැවරුණේ එම චිත්‍රපටයට කරුණු ලබාගත්තේ නවකතාවකින් බව කියමිනි. එම නවකතාවේ කතුවරයා වූ ඒ.සී. අලස් යන අය මෙසේ නඩු පවරන ලදී. වසන්ත ඔබේසේකර අධිකරණයට පැවසුවේ සත්‍ය සිද්ධියක් පදනම් වූ එම සිනමා පටයට අදාළ වූයේ නඩුවක් මගින් ප්‍රසිද්ධ වූ කරුණු කාරණාය යන්නයි.

ඔබේසේකරට එරෙහි වූ නඩුව ඒ අනුව නිෂ්ප්‍රභ විය. එවැනි ප්‍රතිනිර්මාණයක් කිරීමට කලාකරුට අවසරය තිබෙන බව අධිකරණය පිළිගන්නා ලදී. බුද්ධිමය දේපොළ පනත මගින් මෙම ප්‍රතිනිර්මාණ අයිතියද තහවුරු කර ඇත.

බුද්ධිමය දේපොළ අයිතීන් කඩවීම සම්බන්ධ පැමිණිලි විභාග කොට සමථය කිරී‍මේ නීතිමය බලයක් ජාතික බුද්ධිමය දේපොළ කාර්යාංශයටද ඇත. ඉහළ උසාවි වෙත යොමුවීමකින් තොරව බොහෝ ගැටලු සමථය කර ගැනීමට මෙය අස්වැසිල්ලක් වෙයි.

මෙවැනි නීතිමය සහ සදාචාරමය බැඳීම් ගණනාවක් හේතුකොට ගෙන නිර්මාණකරුවාට යම් ස්වාධීනත්වයක් ලැබී තිබේය යන්න පොදු පිළිගැනීම වෙයි. එම ස්වාධීනත්වය තීව්‍ර කරනු උදෙසා බුද්ධිමය දේපොළ පනත හෙට දිනයේදී තව තවත් පුළුල් විය යුතුව තිබේ.

තුෂාර උඩවත්ත