News

නිරීක්ෂණ යන්ත්‍ර අක්‍රිය වී බහු දින යාත්‍රා ධීවරයෝ අසරණ වෙති

බහුදින ධීවර යාත්‍රාවල සවි කර ඇති නිරීක්ෂණ යන්ත්‍ර හෙවත් වී.එම්.එස්. (විෂුවල් මොනිටර් සිස්ටම්) ක්‍රියාත්මක නොවීම නිසා ධීවරයෝ දැඩි ගැටලුවලට මුහුණ පා ඇති බව බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත පැවසීය.

අන්තර් ජාතික මුහුදේ මසුන් මැරීම සඳහා යන බහුදින යාත්‍රා 1600ක් පමණ මෙසේ ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. එසේ ලියාපදිංචි කිරීමේදී වර්ෂයකට රුපියල් 36,000ක මුදලක් අය කර ඇතත් බහුතර යන්ත්‍ර ප්‍රමාණයක් ක්‍රියාත්මක නොවන බව ඒ මහතා පැවසීය. එම යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ නම් යාත්‍රාව ගමන් කරන ගමන් මග, වේගය, දිසාව ආදී ආරක්ෂිත ක්‍රමයන්වලට අදාළ දත්ත ලැබෙන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසන්න ගීගනගේගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ඇතැම් ධීවරයින් එම යන්ත්‍ර සේවා (සර්විස්) කර නොගැනීම නිසා ඇතැම් යන්ත්‍ර ක්‍රියාත්මක වීමේ ගැටලු මතු වී ඇති බවයි.

ජූඩ් සමන්ත