නිශ්ශංක සේනාධිපති නොවැ. 14 අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
ඉකුත් රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා එල්ල වී වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ලබන නොවැම්බර් මස 14 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද (22) බන්ධනාගාර බලධාරීන්ට නියෝග කරන ලදී.
රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි නිශ්ශංක යාපා සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව දන්වා සිටියේය.
විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා – මෙම නඩුවේ විභාගය සඳහා ඔබට අවශ්‍ය කරන්නේ ජනාධිපතිවරණයට පෙර දිනයක් ද? නැතිනම් පසුව එලඹෙන දිනයක් ද?
විත්තියේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා- ස්වාමීනි, ජනාධිපතිවරණයට පසුව එළැඹෙන දිනයක් නම් වඩා හොඳයි.
එහෙත් නඩුව නැවත නොවැම්බර් මස 14 වනදා යළි කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම නඩුවේ වැඩිදුර විභාගය සඳහා දින නියම කරන බව සඳහන් කර සිටියේය. එදින රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලදී.
ඉකුත් රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355ක් අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුවෙන් චෝදනා එල්ලකර තිබේ. එම රුපියල් ලක්ෂ 355 ක මුදල විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාට අල්ලස් වශයෙන් ලබාදීම මගින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව තවත් චෝදනාවක් එල්ල කර ඇත.
අධිකරණ වාර්තාකරු
