News

පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න

රටේ සෑම පුද්ගලයෙකුම පරිසරය වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්නේ නම් පරිසරය රැකගැනීමට ඉතාමත් පහසු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහනට අද (22) එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ පරිසරය පිළිබද කතාබහ කරන පිරිස් හුදෙක් විලාසිතාවක් වන්න පරිසරය පිළිබදව කතාබහ කරන බවයි.

මෙරට ගංගා සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ක්‍රියාවට නංවන ගං ඉවුරු ආරක්ෂා කිරීමේ ‘සුරකිමු ගංගා’ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කතරගම මැණික් ගං ඉවුර අසලට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ‘සුරකිමු ගංගා’ ස්මාරකය විවෘත කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ පරිසර දූෂණය පිළිබදව අද වන විට සියලුදෙනාගේ සාකච්ඡාවට භාජනය වී ඇති අතර, ඒ සදහා නොයෙකුත් මතවාදයන් ද ඉදිරිපත් වන බවයි.

විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා ලබාදෙමින්, තමන් පරිසරය විනාශයට සම්බන්ධ ප්‍රධානතම සහ එකම පුද්ගලයා ලෙස සමාජ මාධ්‍යය බැලූ බැල්මට පෙනෙන්ට ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.