News

පලංචියෙන් මතු වූ දුම්වැටි තොගය රේගු බාරයට

නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 9 කෝටි 816,000ක් පමණ වටිනා දුම්වැටි දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භාවිත කරන පලංචි ලෙස ප්‍රකාශ කරමින්, එම දුම්වැටි තොගය චීනයේ සිට කොළඹ වරායට එවා තිබේ.

චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 06 කට අයත් දුම්වැටි 1513,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 7,568 ක් එලෙස රේගු නිලධාරීන් භාරයට ගැනුණි.

අඩි 20ක් දිගැති එම බහාලුම ඉකුත් මස 28වනදා කොළඹ වරායට ගෙන්වා තිබුණු අතර පලංචි දෙපසින් ලෝහ තහඩු යොදා වසා දමා තිබීම නිසා රේගු නිලධාරීන්ට ඒ පිළිබඳ සැක සිතා පරීක්ෂාකර බැලීමේ දී මෙම දුම්වැටි තොගය සොයා ගෙන ඇත.

කොළඹ, ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යකඩ සහ පලංචි ආනයනය කරන ව්‍යාපාරිකයෙකු විසින් එම දුම්වැටි අඩංගු පලංචි තොගය චීනයේ වෙන්ෂෝ වරායේ සිට ගෙන්වා තිබූ බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම දුම්වැටි සහිත පලංචි කණු මෙරටට ආනයනය කළ ආනයනයකරු සහ එම ආයතනයේ වාප්පු ලිපිකරු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව වාර්තා වේ.