News

පිලිපීන සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

පිලිපීන සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස ඊයේ (19) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ ඊයේ රාත්‍රි 11.50 ට ජනාධිපතිතුමා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි.

පිලිපීන ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේට් මහතාගේ ආරාධනයක් මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 15 වන දින රාජ්‍ය සංචාරයක් සඳහා පිලිපීනය බලා පිටත්ව ගියා.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශවික ගිවිසුම් පහකට ද අත්සන් තැබීම සිදුවුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන ජනාධිපතිවරයා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූ අතර එරට කතානායකවරිය ද හමුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජනාධිපතිවරයා ඊයේ දිනයේදී පිලිපීන පොලිස් මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට සහය ලබාදීමට පිලිපීන පොලීසිය එකඟතාව පල කර තිබෙනවා.

ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පිලිපීන විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.