News

පුත්තලම සිදුකළ හදිසි මෙහෙයුමකදී වැරදි කෙරු රියදුරන් 300දෙනෙකු අත්අඩංගුවට

පුත්තලම පොලිස් වසම තුළ සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී විවිධ රථ වාහන වැරදි වලට සම්බන්ධ රියදුරන් 300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 27 වැනිදා පෙරවරු 8.30 සිට සවස 2.00 වන තුරු පුත්තලම පොලිස් බල ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී ලියාපදිංචි සහ රක්ෂිණ සහතික ඉදිරිපත් කිරීමට නොහැකිවූ යතුරු පැදි 16 ක්ද පොලිස් බාරයට ගෙන ඇත. බීමතින් රිය ධාවනය කළ එක් රියදුරෙකුව සහ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවෙකුවද මෙහෙයුමට සම්බන්ධවී සිටි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම නගර සභාවේ සේවකයින්ගේ සහාය ඇතිව අයාලේ ගිය ගවයින් 05 දෙනෙකුවද පොලිස් බාරයට ගෙන ඇති අතර,එම ගවයින්ගේ හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර ඇත.

පුත්තලම දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන,කොට්ඨාස බාර පොලිස් අධිකාරී ජේ.ඒ.චන්ද්‍රරත්න,සහකාර පොලිස් අධිකාරී නානායක්කාර යන මහත්වරුන්ගේ උපදෙස් සහ මෙහෙයවීම මත පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන,රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ධර්මකුමාර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 150 දෙනෙකු මෙම මෙහෙයුමට එක්ව සිටියේය.