News

පෙට්‍රල් සුවඳ බැලූ සිඟිති දරුවා කෙටි වේලාවකින් මරුදකී

යතුරුපැදියක ඉන්ධන ටැංකියේ මූඩිය ඉවත්කොට පෙට්‍රල් සුවඳ බැලීමට ගිය වයස අවුරුදු 7ක දරුවකු මියගොස් ඇත.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ වැලමිටියාවෙන් පසුගිය 20 වැනිදා මෙම සිද්ධිය අනාවරණය විය.

මෙසේ අවාසනාවන්ත අන්දමට මියගොස් ඇත්තේ දඹුල්ල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සජිත් කුමාර මුණසිංහ නමැති 7 හැවිරිදි දරුවෙකි.

මෙම දරුවා 20 වැනි දින පස්වරුවේ තම මිත්තනියගේ නිවසට පැමිණ නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් මතට නැග එහි පියන ඉවත් කොට පෙට්‍රල් සුවඳ ආඝ්‍රාහණය කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.

මෙම සිද්ධිය මුලින්ම දුටු අසල්වැසි තරුණයකු කියා සිටියේ තමන් මෙම නිවසට පැමිණෙන විට මියගිය කුඩා දරුවා යතුරුපැදිය උඩ තම මුඛය සහ නාසය ඉන්ධන ටැංකියට හොවාගෙන සිටිනු දුටු බවය. දරුවාට කතා කළද ඒ වන විටත් ඔහු සිහිසුන්ව සිටි බව එම තරුණයා වැඩිදුරටත් සඳහන් කළේය.

මියගිය දරුවාගේ පියා වන අජිත් කුමාර මුණසිංහ කියා සිටියේ දරුවා ගලේවෙල රෝහලට රැගෙන යන විටත් මියගොස් ඇති බවයි.

වැලමිටියාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ මෙම දරුවාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (21 වැනිදා) දඹුල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කේ.කේ. ආරියදාස – දඹුල්ල