News

පොලිස් අධිකාරීගේ ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ

පොලිස් අධිකාරීගේ ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ

අලුතින් පත්කළ නිලධාරියා සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට වඩා හොඳින් වැටලීම් කටයුතු සිදු කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර ඊයේ (5දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

එරික් පෙරේරා යනු තවත් එක් නිලධාරියෙක් පමණක් බවත් ඔහු සමගින් තවත් නිලධාරීන් තිස් ගණනකට මාරුවීම් ලබා දුන්නත් එම නිලධාරීන් ගැන කිසිවකු කතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළ ඇමැතිවරයා මෙය සාමාන්‍ය ස්ථාන මාරුවක් බවද කීය.

එරික් පෙරේරා මීගමුවට මාරු කළේ ඔහුගේද ඉල්ලීම අනුව බව කී ඇමැතිවරයා පෙර සිටි ස්ථානයේ මෙන්ම මීගමුවේදීත් ඔහුට හොඳින් රාජකාරි කිරීමට හැකියාව ඇතැයි ද මෙම ස්ථාන මාරුවට කිසිදු දේශපාලන බලපෑමක් නැති බවද කීය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.