පොලිස් කොමිසම දුන් පොලිස් පරීක්ෂවරුන්ගේ උසස්වීම් 774ක් ආපසු හරවයි
පොලිස් පරීක්ෂකවරුන් 774කට උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම දුන් අනුමැතිය ඉවතලමින් පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු විසින් ගත් ක්‍රියාමාර්ගයක් නිසා එම පොලිස් පරීක්ෂකවරුන්ගේ උසස්වීම් ලබන වසර තෙක් ප්‍රමාද වීම ගැන ජනාධිපතිවරයාට පැමිණිලි කරන බව පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරියකු අනාවරණය කළේය.
ජාතික පොලිස් කොමිසමේ ලේකම් එම්.එස්. දිසානායක මහතා මැයි 31 දා පොලිස් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරීන් විසිදහස් හැට නව දෙනකුගේ හා පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු තිස් දහසකගේ උසස්වීම් සඳහා අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ අවුරුදු දහයට වඩා සේවය කළ නිලධාරීන් 774කට ජූලි 01 දා සිට බලපැවැත්වෙන ලෙස උසස්වීම් ලබාදීමට අනුමැතිය හිමිවී ඇත.
වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් උසස්වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම නිසා කලකිරීමට පත්වූ නිලධාරීන් උසස් කිරීමට පොලිස් කොමිසමට ඉදිරිපත් කළ ක්‍රමවේදයට පොලිස් කොමිසම මෙසේ අනුමැතිය ලබාදී ඇත.
එසේ තිබියදී වැටුප් හා සේවක සංඛ්‍යා කමිටුව සමග මෙම සතියේ පැවැති සාකච්ඡාවකට එක්වූ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු විසින් එම උසස්වීම් 2020 ජනවාරි 01 දාට කල් තබන ලෙස ඉල්ලා ඇත්තේ මෙම නිලධාරීන්ට මුදල් ගෙවීමට දෙපාර්තමේන්තුව සතුව මුදල් ඇතැයි ප්‍රධාන ගණකාධිකාරිවරයා පෙන්වා දෙන මොහොතේය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
