News

පොලිස් රාජකාරියට බාධා කළ වෙන්නප්පුවේ මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය ලබන 06 දක්වා යළි රිමාන්ඩ්

වෙන්නප්පුව සීනෝර් හංදියේ දී වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය යළි සැප්තැම්බර් මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර ඇත.

එම ‍සැකකාරියන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පසුගිය අගෝස්තු මස 19 වන දා සවස මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරිමේ දී එම අවස්ථාවේ දී ‍යතුරුපැදියේ පැදිකාරිය සතුව රියදුරු බලපත්‍රය හා අනෙකුත් බලපත්‍ර තිබී නැති බව වාර්තා වූ අතර එම අවස්ථාවේ දී යතුරුපැදිකාරිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වු සහෝරිය, තවත් සහෝදරියක් හා පියා එම ස්ථානයට යතුරුපැදියකින් හා වෑන් රථයකින් පැමිණ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් බාරයේ සිටි සැකකාරිය හා යතුරුපැදීය රැගෙන යෑමට උත්සහ දරා ඇති බවයි පොලිසිය පවසන්නේ. එහිදී එම අවස්ථාව රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් වීඩියෝ ගත කර තිබේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය හා පසුව ආ යතුරුපැදිය පොලිස් බාරයට ගෙන තිබේ. පසුව සැකකාරිය හා එම ස්ථානයට පැමිණි පිරිස වෑන් රථයකින් පලා‍ ගොස් තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට වීඩියෝ පටයක් ද සමඟ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුපසුව අගෝස්තු මස 21 වෙනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.