News

මුල් ගලට මාස 09යි, බලපිටිය රෝහලේ ගොඩනැගිල්ලේ ඉදිකිරීමට පොළොව වත් සුදානම් කර නෑ

බළපිටිය මූලික රෝහලේ ඉදිකිරීමට නියමිත දස මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තබා මාස නමයක කාලයක් ගත වී ඇතත් මේ වන තුරු කිසිම ඉදිකිරීමකට සූදානමක් නැති බව ප්‍රදේශවාසීහු කියති.

දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හා බළපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අසෝක ධනවංශ ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය මාර්තු මස පස් වන දින මෙම ගොඩනැගිල්ල සඳහා උත්සවාකාරයෙන් මුල් ගල තබා තිබේ.

මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලට මුල් ගල තැබුවත් මේ වන තුරු එය ඉදිකිරීමට කිසිදු සූදානමක් පෙනෙන්නට නොමැති බවත් ගඩොලක් තැබීම කෙසේ වෙතත් ගත වූ මාස කිහිපය තුළ පොළොව වත් සූදානම් කර නැති බවත් බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මහවැලි මහතා පසුගියදා පැවති බළපිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී ද පෙන්වා දුන්නේය.

කොන්ක්‍රීට් මුල්ගල් පැළ වෙන්නේ නැති බවත්, එහෙත් මේ මුල්ගලට පැළ වෙන්නට ඉඩ නොදෙන ලෙසත් කී ඒ මහතා මෙය දස මහල් (10) කිව්වට මුල්ගලේ සඳහන් වී තිබෙණුයේ මහල් අටක් (08) පමණක් බවද කීය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් අසේල ද සොයිසා මහතා ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේ දකුණු පළාත් සෞඛ්‍ය අධිකාරීවරයා වෙත මුදල් කොටසක් වෙන් කර තිබෙන බවත් මෙම ගොඩනැගිල්ල ඉදිකරන ස්ථානයේ තිබෙන පැරණි ගොඩනැගිල්ලේ තිබෙන උපකකරණ ඉවත් කර ගැනීමට රෝහල් අධිකාරිවරයා කටයුතු නොකිරීම නිසා එය පමා වන බවත්ය.

මෙය ලබා ගැනීමට මූලිකව ක්‍රියා කළ දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අසෝක ධනවංශ මහතාගෙන් විමසූවිට මෙසේ කීය. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන තුන් දහසක (30000,00000/-) මුදලක් වෙන් කර තිබෙන්නේ. මෙහි මූලික වැඩ කරන්න රුපියල් මිලියන සියයක (1000,00000/-) මුදලක් වෙන් කර දී තිබෙනවා. ඉදිකිරීමට නියමිත භූමියේ පැරණි ගොඩනැගිල්ලේ සේවකයන් පිරිසකගේ නේවාසිකාගාරයක් වෙලා තිබෙනවා. එමෙන්ම කොටසක උපකරණ තොගයකුත් ගබඩා කර තිබෙනවා. මධ්‍යම ඉංජිනේරු කාර්යංශයෙන් තවම ඒ කටයුතු කර දී නැහැ.

ගැටලුවක් නැහැ. ප්‍රතිපත්තියක් හැටියට අපේ රජය නැතත් ඉදිරියට පත්වෙන ඕනම ආණ්ඩුවකින් මේ ගොනැගිල්ල ඉදිවෙනවා යැයිද කීය.
බළපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අරෝෂ විජේවික්‍රම මහතාගෙන් විමසූ විට මෙසේ කීය. මම මේ රෝහලට ඇවිත් වැඩ බාර ගෙන දින කිහිපයයි වෙන්නේ. මේ ගැන මම සොයා බැලුවා. මෙහි තිබෙන ගොඩනැගිල්ල ඉක්මනින් ඉවත් කර දී භූමිය නිදහස් කරදීමට දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයෙන් නුදුරු දිනයකම කරනවා. ඒ වැඩ කඩිනමින් ඉදිකිරීමට හැකිවෙන බව විශ්වාස කරන බවත් කීය.