News

බල්ලා සිසුවියන් දෙදෙනෙකු සපා කෑවාට ගුරුවරයා අත්අඩංගුවට

ගුරු නිවාසයේ ඇති දැඩි කරන සුනඛයකු පාසල් සිසුවියන් දෙදෙනෙක් සපා කෑමෙන් තුවාල සිදුවීමෙන් එම ශිෂ්‍යාවන් රෝහල් ගත කිරීමේ චෝදනාව මත සුනඛයා ඇති කළ ගරුවරිය මස්කෙළිය පොලීසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන, හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා හමුවට ඉකුත් (13) දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදා හරිමින් නැවත ජූලි මස (31) දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

හැටන් අධ්‍යාපන කළාපයට අයත්, මස්කෙළිය, ඩී.සයිඩ් දෙමළ ප්‍රාථමික විදුහලේ සේවයේ නියුතු ගුරුවරියකට ඉකුත් (13) වෙනි දින හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වරයා විසින් එම නියෝගය ලබා දෙන ලදී.

ඩී.සයිඩ් දෙමළ ප්‍රාථමික විදුහලේ 03 වන හා 05 වන ශ්‍රේණි වල අධ්‍යාපනය හදාරණ මෙම සිසුවියන් දෙදෙනා ඉකුත් 06 වන දින පාසල් වේලාවේ එම පාසලේ ගුරු නිවාසයේ ඇති දැඩි කරන සුනඛයකු විසින් සපා කෑම හේතුවෙන් තුවාල සිදුවූ එක් සිසුවියක් නාවලපිටිය මූලික රෝහලෙන් නේවාසිකව ප්‍රථිකාර ලබාගෙන ඇති අතර අනෙක් සිසුවිය මස්කෙළිය ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

එම ළමයින්ගේ දෙමව්පියන් විසින් මස්කෙළිය පොලීසියට සිද්ධිය පිළිබඳව කරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 282 වන වගන්තිය යටතේ බල්ලකු සපා කෑම සම්බන්ධව සුනඛයාගේ අයිතිකරු වන ගුරුවරියට එරෙහිව හැටන් අධිකරණයට “බී” වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත.

මෙම ගුරුවරියට මහේස්ත්‍රාත්වරයා විවෘත්ත අධිකරණයේදී දැඩි ලෙස අවවාද කරමින් නඩුවේ වැඩිදුර විභාගය පැවැත්වෙන 2019.07.31 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත, පොලිස් සැරයන් සමන්ත (40552) මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලදී.

හැටන් චන්දන ජයවීර