නවතම ප්‍රවෘත්ති

‘‘බස් පර්මිට් බැරියර් කඩාගෙන ලක්ෂ ගණනින් කොළඹට රොද බඳින්න ලෑස්ති වෙමු’’ – විමල් කොලොන්නාවේ දී කියයි

කුමන බාධක එල්ල වුවත් එ්වා මැඩගෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් කොළඹට රැගෙන එ්මට එ්කාබද්ධ විපක්ෂය සූදානම් බවත් ‘බස් පර්මිට් බැරියර්’ කඩාගෙන මේ මව් පොළොවට ආදරය කරන සියලූ සජ්ජනයා පෞද්ගලික වාහනවලින් ලක්ෂ ගණනින් කොළඹට එ්මට සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ (02) පැවසීය. ඔහු එසේ පැවසූයේ, ‘ජනබලය කොළඹට’ ජනහමු මාලාවේ කොලොන්නාව සණස ශාලාවේ පැවති ජනහමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“දකුණේ දවසින් දවස විවිධ චෝදනා එල්ල කරමින් භික්ෂූන් වහන්සේලා සිරගත කරනවා. නමුත් උතුරේ දෙමළ කිතුනු පූජකතුමන්ලා ‘උතුරේ සිංහලයෝ එකෙක්වත් පදිංචි කරන්න දෙන්නේ නැහැ’ කියාගෙන ප‍්‍රභාකරන්ගේ පින්තූරය අරගෙන පෙළපාලියේ යනවා. උසාවියේ උස් හඬින් කතා කළා, පොදු දේපළවලට හානි කළා, කියමින් භික්ෂූන් වහන්සේලා හිරේ දමමින් මේ රටේ උරුමයට ගහනවා. නමුත් ජාතික ආරක්ෂාවට බාධා වන ලෙස උතුරේ දී කටයුතු කරන පිරිස් ඉදිරියේ නීතිය නැමෙනවා.”