News

බුද්ධි අංශ නිලධාරීන්ට අරාබි භාෂා පුහුණුවක්

අන්තවාදී මත පතුරුවන ඉස්ලාමීය ආගමික කරුණු ඇතුළත් පොත්පත් රට තුළට ඒම වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට අරාබි භාෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇත.

ඉස්ලාමීය ආගමික පොත්පත් මෙරටට ගෙන ඒමේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන තිබිය යුතු බවට ආරක්ෂක අමාත්‍යාංශය රේගු දෙපාර්තමේන්තුවට හා ඉස්ලාම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට පසුගිය සතියේ උපදෙස් ලබා දී ඇත.

මීට සති තුනකට පෙර පොත් ආනයනකරුවකු මෙරටට ගෙන ආ ඉස්ලාමීය පොත් අතරේ වහබ් අන්තවාදය පතුරුවන පොත් දහසක් පමණ තිබී අත්අඩංගුවට ගෙන තිබිණි.

අරාබි භාෂාව දන්නා නිලධාරීන් ලවා පරීක්ෂා කිරීමේ දී අන්තවාදය පතුරුවන සංහිඳියාවට බාධා එල්ලවිය හැකි පොත් තිබෙන බව හෙළි වී ඇත.

එවැනි පොත් රට තුළ ඇත්දැයි සෙවීමට බුද්ධි නිලධාරීන්ට මාස හයක අරාබි භාෂාව කියවීමේ පුහුණුවක් ලබාදීමට පටන් ගෙන ඇත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා