News

බොරැල්ලේ ට්‍රැෆික් OIC මරු තුරුලට යැවූ රියදුරු යළි රිමාන්ඩ්

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සරත්චන්ද්‍ර මහතා මරණයට පත් කරමින් බම්බලපිටිය ඩුප්ලි බුලර්ස් මංසන්දියේදී සිදුවූ මාරක රිය අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ නවිදු ඔමේෂ් රත්නායක ලබන අප්‍රේල් මස 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (18) නියෝග කර ඇත.

රිය අනතුර සිදුකළා යැයි කියන ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ නවිදු ඔමේෂ් රත්නායක හඳුනා ගැනීමට එක් සාක්කිකරුවෙකු සමත් වී ඇත.

එම හඳුනා ගැනීමේ පෙරට්ටුව අද කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පි.ඩි. පෙරේරා මහතා ඉදිරියේදී පැවත්වී ඇත.

පෙබරවාරි මස 24 වෙනිදා සිදුවූ මෙම මාරක රිය අනතුරෙන් තුවාල ලැබූ බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාර්තු මස 09 වෙනිදා රාත්‍රියේදී අභාවප්ප්‍රාප්ත විය.