බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවු රියදුරු යළි රිමාන්ඩ්
බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත් කළ රිය අනතුරට සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඩිෆෙන්ඩරයේ රියදුරු වන නවිදු ඔමේෂ් රත්නායක නැමැත්තා ලබන මස 18 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය නියම කළේය.
මෙහිදී පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු දක්වමින් අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා මේ වන විට මියගොස් ඇති බැවින් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බව කියා සිටියේය.
ඒ අනුව සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට ද ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද, සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්ථාවක්ද එදිනට ඉදිරිපත් කරන ලෙසද පොලීසියට නියෝග කළාය.
සිද්ධිය වු අවස්ථාවේදී එම රියට පිටුපසින් පැමිණි අනෙක් රිය සම්බන්ධයෙන්ද සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.