භාවිතයෙන් ඉවත් කළ පොලිස් වාහන තාක්ෂණ සිසුන්ට
මෙරට නිෂ්පාදනය කළ කිඹුලා උදැල්ල, යුනික් රේඩියෝව, ෆියට් මෝටර් රථය, කැලණි ටයරය යන නිෂ්පාදනයන් වැලලී ගියේ විවෘත ආර්ථිකය නිසා යැයි මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවැසීය.
පොලිස් දෙපාර්තමේන්තුවට අයත් අබලි වාහන වෘත්තීය අධ්‍යාපනය හදාරණ සිසු දරු දැරියන්ගේ ප්‍රායෝගික දැනුම වර්ධනය සඳහා ලබාදීම වෙනුවෙන් දෙහිවල අත්තිඩිය යෝජිත පොලිස් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉකුත් 19 දින පැවැති උත්සවයේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. භාවිතයෙන් ඉවත් කළ යතුරුපැදි හා රථවාහන 219 කට අදාළ ලිපි ලේඛන උසස් පෙළ තාක්ෂණ විෂය උගන්වන පාසල්වල සහ තාක්ෂණික විද්‍යාලවල ප්‍රධානීන් හට පිරිනමනු ලැබිණි.
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශය සංවිධානය කළ මෙම වැඩසටහනේදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
‘‘නව නිපැයුම් ගැන කියන විට අවුරුදු 2500 ක ඉතිහාසය තුළ ශ්‍රී ලාංකිකයන් ලෝකය මවිත කරන දේවල් සිදුකර තිබෙනවා. ඒ මුතුන් මිත්තන්ගේ ජාන තවමත් අපේ ඇඟවල්වල තිබෙන නිසා නව නිෂ්පාදනවලට අපි උනන්දු කරවනවා. ඒවාට අතහිත දෙන හොඳ අමාත්‍යවරියක් තමයි සීතා අරඹේපොල මහත්මිය. එතුමියගේ උත්සාහය නොවන්නට මේ ප්රතිලාභ අද පාසල් දරු දැරියන්ට ලැබෙන්නේ නෑ.’’
රාජ්‍ය ඇමැතිනී සීතා අරඹෙපොල මහත්මියද මෙහිදී අදහස් පළ කළාය. අබලි යතුරුපැදි සමග රථවාහන හා ඒවායේ ලිපි ලේඛන පාසල් ප්‍රධානීන්ට අමාත්‍යවරයා විසින් පිරිනමනු ලැබූ අයුරු මෙහි දැක්වේ.
දිනේෂ් රූපසිංහ – පිළියන්දල
ජේ. පී. ඥානතිස්ස – බොරලැස්ගමුව