මගී ප්‍රවාහනයේ 99.9% ක්ම දුවන්නේ මගීන් ගෙනයන බස්රථ නෙමෙයි. ලොරි චැසිවලට සීට් හයිකරපු බස්රථයි.
අද මධ්‍ය ආදායම් රටක් හැටියට අවුරුදු 20 ක් එකතැන හිරවෙලා ඉන්න රටක් හැටියට අධි ආදායම් කලාපයට පිවිසෙන්න අපට තිබෙන ලොකුම බාධාවක්, හිරවීමක් හැටියට අපේ ප්‍රවාහන ක්ෂෙත්රය. ලංකාවේ අද ප්රශ්නය ගත්තොත් අපට බටහිර රටවල්වලින් තමයි මේ නූතන ප්‍රවාහන මාදිලිය ලැබුණේ. 1860 ගණන්වල දුම්රිය සේවය එක්දහස් නමසිය දෙකේ, තුනේදී බස්රථ මේ රටට ඇවිල්ලා පොදු ප්‍රවාහනය හඳුන්වාදීමක් උනා. පෞද්ගලික ප්‍රවාහනයේ වර්ධනයක්, මෝටර් සයිකලය, මෝටර් රථය ලැබීමෙන් ලැබුණා.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදීය.
අපට නිදහස ලැබිලා 1950 දී මේ රටේ ජනගහනය ලක්ෂ 80 කට ආසන්න වෙලා තිබෙන කොට මේ රටේ රථවාහන ප්‍රමාණය තිබුණේ 5000 යි. මෝටර් සයිකල්, මෝටර් රථ සහ බස්රථ මේ ඔක්කොම එකතුවෙලා තිබුණේ. අද මොකද්ද තත්වය අද අපගේ ජනගහනය ආසන්න වශයෙන් අවුරුදු 70කට පසුව තුන් ගුනයකට ආසන්න වෙලා තිබෙනවා. ලක්ෂ 210 – 220 ක් වෙලා තිබෙනවා. ඒ වගේම අපගේ වාහන පද්ධතිය ආසන්නයෙන් දහස් ගුනයකින් වැඩිවෙලා අද මිලියන 7 කටත් වඩා අධික මෝටර් රථ ප්‍රමාණයක් රටතුළ සංසරණය වෙන තත්වයක් ඇතිවෙලා තිබෙනවා. දැන් මේක නිසා තමයි මේ ප්‍රවාහන තදබදය ඇතිවී තිබෙන්නේ. අද මහමග ඇතිවී තිබෙන ප්‍රවාහන තදබදය නිසා දවසකට නාස්තිවෙන ධනය, ඉන්ධනවලින් ශ්රමකාලයෙන් ඇතිවන ධනය මොරටු විශ්ව විද්‍යාලයේ අධ්‍යනයන්ට අනුව ආසන්නයෙන් දිනකයට මිලියන 1000ක්. අපේ රටේ ප්‍රවාහනයේ දියුණුවට, මාර්ගපද්ධතියේ දියුණුවට, මේ අයවැයෙන් වියදම් කරන ප්‍රාග්ධන වියදමට වඩා වැඩි ප්‍රමාණයක් මේ මහමග තදබදය නිසා විනාශ වන බව කියන්න ඕනේ.