News

මධුෂ් ඇතුළු පිරිස ලංකාවට ගෙන්න නිසි ක්‍රියාමාර්ග ගන්නවා – එම්.ආර්.ලතීෆ්

ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ප්‍රබල අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රීක මට්ටමින් ක්‍රියාමාර්ග ගනු ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය භාර අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා සඳහන් කරයි.

දෙරටේ බලධාරීන් අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමේ දින වකවානු තීරණය කිරීමට නියමිත බව ඔහු සඳහන් කළ අතර ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සහ රජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මැදිහත්ව ඊට අදාල කටයුතු සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා පැවසීය.

මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි නායකයෙකු මධූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස ශ්‍රී ලංකා, ඩුබායි ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමේදී ඊයේ (05) අළුයම අත්අඩංගුවට ගැනුණා. ඩුබායි හි පැවති සාදයක් අතරතුර අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර අපරාධ කල්ලි සාමාජිකයින් ඇතුළු 25 දෙනෙකු වූ බව වාර්තා වෙයි.