News

මම දේශපාලනය කරන්නේ තව අවුරුදු 5යි – සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයකු වුවත් අද ඔහු දේශපාලනඥයෙකි. දේශපාලනයේදී ඔහුගේ ප්‍රකාශ වෙඩි සැර මෙන් සෘජුව ඉලක්කයට ගමන් කරන්නේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයන් ගැනද ඔහු පසුගිය දිනවල එවැනි ප්‍රකාශ කිහිපයක්ම කර තිබුණි. මේ වත්මන් දේශපාලන පරිසරය සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවකි.

මේ සමග පළවන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ඔහුත් සමග කළ සාකච්ඡාවකි.

ඔබයි, සජිත් ප්‍රේමදාසයි අතර තිබෙන අර්බුදය කුමක්ද?

ඔහුත් සමග මගේ කිසිම පෞද්ගලික ආරවුලක් නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයන් විදිහට අප අතර සම්බන්ධයක් තිබෙනවා. සජිත් මේ මොහොතේ පක්ෂ නායකයාට විරුද්ධව පිරිසක් හදාගෙන නැගී සිටිනවා. එය පක්ෂයේ ව්‍යවස්ථාවට මෙන්ම පක්ෂයේ විනයටද විරුද්ධ දෙයක්. ඒ ක්‍රමවේදය මම අනුමත කරන්නේ නැහැ. ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස පවසමින් රට වටේ යන එක මට පිළිගන්න බැහැ. මම අනුමත කරන්නේ නැහැ. ඔහු ජනාධිපති අපේක්ෂකයා කියලා පක්ෂයේ නියෝජිතයන් වන අපි පිළි අරගෙන නැහැ. ඔහුත්, මමත් අතර තිබෙන්නේ මෙම දේශපාලන ප්‍රශ්නය පමණයි. ඉන් එහාට අප අතර පෞද්ගලික ගැටලුවක් නැහැ.

නමුත් මේ ගැටුම පක්ෂයට මෙන්ම ඔබටත් හානියක් නෙවෙයිද?

මගේ දේශපාලනය ඇත්ත හංගාගෙන මිනිසුන් රවටාගෙන සීනි බෝල කතා කීම නෙවෙයි. මම වරදක් දැක්කොත් වැරදි පෙන්වා දෙනවා. මිනිසුන්ව බොරු කියලා රවට්ටන්නේ නැහැ. මෙවැනි බොරු කියමින් දේශපාලනය කිරීමට මම විරුද්ධයි.

සජිත් ප්‍රේමදාස බොරු කියමින් දේශපාලනයේ නිරත වන බවටද ඔබ චෝදනා කරන්නේ?

මේ දිනවල සජිත් ප්‍රේමදාස මහතා කියන කතා යථාර්ථවාදී නැහැ. ඔහු කියන දේවල් කරන්න බැහැ. ඔහු කරන්නේ මිනිසුන් රවටන එක. මම එයට විරුද්ධයි. ඔහු මේ දිනවල කියනවා 2025 වන විට රටේ ඉන්න ගෙවල් නැති හැම අයකුටම ගෙයක් දෙනවා කියලා. අවුරුදු හතර හමාරටම දුන්නේ අර ගම්උදාවල හදන කුඩා ගෙවල් හයදාහක් පමණයි. මේ රටේ ඉන්නවා ගෙවල් නැති ලක්ෂ විසිපහක පමණ පිරිසක්. ඉතිරි වසර පහමාරේදී මේ ලක්ෂ විසිපහටම ගෙවල් දෙන්න පුළුවන්ද? මේ ආකාරයට බොරු කියමින් ජනතාව රැවටීමට මම විරුද්ධයි. සජිත් අපගේ පක්ෂයේ අයකු වුණත් මේ විදිහට ජනතාව රැවටීම පිළිබඳව මම විරුද්ධයි. අඩුම තරමින් මේ ආකාරයට ජනතාව රවටන කතා කියන වේදිකාවකට ගොඩවීමට පවා මම අකැමැතියි.

ඉතින් මේ ප්‍රශ්න පක්ෂය ඇතුළෙ විසඳගන්න පුළුවන්නෙ?

එයට වැරදිකරුවන් වන්නේ ප්‍රශ්නය පිළිබඳව කතා කරන අය නෙවෙයි, ප්‍රශ්නය ඇති කළ පුද්ගලයායි. ප්‍රශ්නය ඇති කළ අයගෙන් තමයි ඇසිය යුතු වන්නේ මෙවැනි ප්‍රශ්නයක් පක්ෂයේ ඇති කළ එක හොඳද කියලා. අනෙක් කරුණ තමයි මෙවැනි දෙයක් පක්ෂය තුළ හංගාගෙන සිටිය යුතු නැහැ. අපි දේශපාලනය කරන්නේ ජනතාව සමගයි. එක් පුද්ගලයකු එළියට ගොස් වෙනස්ම ආකාරයේ පින්තූරයක් ජනතාව ඉදිරියේ මවන විට අප ඇත්ත කතා කළ යුතු වෙනවා. නැත්නම් ජනතාව දකින්නේ අර පුද්ගලයා මවාපාන දේ පමණයි. ඔවුන් ඇත්ත දැනගන්නේ නැහැ.

මේ වගේ අර්බුදකාරී තත්ත්වයක් පවතිද්දී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කිරීමත් ගැටලුවක් නේද?

නැහැ, එසේ ගැටලු තත්ත්වයක් නැහැ. පක්ෂ නායකයා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරන අයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා.

අපේක්ෂකත්වය ඔබට ලැබුණොත්?

පක්ෂය හා පක්ෂ නායකයාගේ තීරණයක් ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලය එය අනුමත කළොත් මට පක්ෂයේ මතයත් සමග පෙනී සිටින්නට සිදු වෙනවා.

මේ අපේක්ෂක අර්බුදය නිසා එජාපය දෙකඩ වෙයි ඇතැමුන් කියනවා?

එසේ යන පිරිසට දෙවියන්ගේ පිහිටයි. පක්ෂය කඩාගෙන හෝ යම් අයකු ඉක්මන් ගමනක් යන්න හදනවා නම් එක්සත් ජාතික පාක්ෂිකයන් එය අනුමත කරන්නේ නැහැ. බහුතර පාක්ෂිකයන් අපිත් සමග රැඳෙන බවට විශ්වාසයි.

ඔබගේ අදහසක් නැද්ද ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වී දේශපාලනයේ නිරත වීමට?

මගේ හැකියාව, මම පිළිබඳව මම හොඳටම දන්නවා. එය වර්ධනය කරගැනීමට මට ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වීමට අවශ්‍ය නැහැ. ගෝඨාභය රට හදන්න පුළුවන් දක්ෂතාවක් තියෙන අයෙක් කියලා මම ඔහු පිළිබඳව දන්න තරමින් නම් පිළිගන්නේ නැහැ. රට සෑදීමට ගෝඨාභය රාජපක්ෂ සමග එකතු විය යුතුයි යන්න මම තරයේ ප්‍රතික්ෂේප කරනවා.

නමුත් ඔබ පසුගිය දිනක ප්‍රකාශ කරලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම හොඳ තීරණයක් කියලා?

ඒ පක්ෂය එසේ තීරණය කරලා තිබුණේ ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛත්වය දීලා අපේක්ෂකයකු තේරීමට අවශ්‍යයි කියා. මම කිව්වේ ආරක්ෂාව පිළිබඳව හිතලා ගෝඨාභය රාජපක්ෂ එසේ නම් කිරීම එම පක්ෂය ගත්ත හොඳ තීරණයක් කියලා. ආරක්ෂාව පිළිබඳව තීරණය කරලා අපේක්ෂකයකු නම් කිරීමයි අද රටේ අවශ්‍යතාව. ඒ පක්ෂය එසේ තීරණය කරපු එක නිවැරදියි. නමුත් ගෝඨාභය කියන්නේ රට හදන්න පුළුවන් නායකයකු කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

ජනාධිපති අපේක්ෂකයකු තේරීමේදී මේ රටේ ආරක්ෂාව පිළිබඳව පමණක් සිතා තේරීම නිවැරදිද? රටක ආර්ථිකය පිළිබඳව සිතීමට අවශ්‍ය නැද්ද?

අවුරුදු හැත්තෑ එකක පමණ කාලයක් අප රටේ ආර්ථිකය ගැන පමණක් සිතමින් ජනාධිපති අපේක්ෂකයන් තේරීම සිදු කළා. නමුත් රට හැදුණද? රට හැදුණේ නැහැ. රටක ආරක්ෂාව නැත්නම් මොනම රටක්වත් ගොඩනගන්න බැහැ. ආරක්ෂාව නැත්නම් ආර්ථිකය ගොඩනගන්න බැහැ. එය ලෝකයේ දියුණු වූ රටවල් පිළිගන්නා කරුණක්. ඒ නිසා රටක ආරක්ෂාවට තමයි ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ.

එතකොට ආර්ථිකය ගැන සිතීම අවශ්‍ය නැද්ද?

ආර්ථිකය ගැන සිතීම අත්‍යවශ්‍යයි. නමුත් මූලිකව රටක ආරක්ෂාව තහවුරු කළ යුතු වෙනවා. ඉන්පසුව ආර්ථික, රටක සංහිඳියාව, නීතිය හා සාමය මේ සියලු කරුණු පිළිබඳව සිතීම අවශ්‍ය වෙනවා. රටක ආරක්ෂාව නැත්නම් මේ අනකුත් සියල්ලම අසාර්ථක වෙනවා.

අප්‍රේල් 21 වුණේ ඒ වගේ දෙයක්ද?

ඔව්. මේ රට පාලනය කල ජනාධිපති, අගමැති, නීතිය හා සාමය ඇමැති ඇතුළු හැමෝම වගකිවයුතු වෙනවා. ඒ අය අසාර්ථක වූ බව මම පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කර සිටියා.

ඔබ නීතිය හා සාමය ඇමැති ධුරයේ සිටියා නම් කුමක් සිදුවෙයිද?

එසේ නම් මෙවැනි සිදුවීමක් කවදා හෝ සිදු වීමට මම ඉඩ දෙන්නේ නැහැ. විනාශය වීමට පෙර මම සහරාන් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම විනාශ කිරීමට පියවර ගන්නවා. 2018 වසරේදී මට මෙම අමාත්‍යාංශය ලබාදීමට තීරණය කළ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කුහකත්වයෙන් යුතුව මට මෙම අමාත්‍යාංශය ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එදා මට මේ අමාත්‍යාංශය ලබාදුන්නා නම් සහරාන්ගේ ප්‍රශ්නය 2018 වසරේම මම ඉවර කරනවා.

චෝදනාවක් තිබෙනවා ඔබ පරිණත දේශපාලනඥයෙක් නොවන බවට?

පරිණතයි කියලා කියන දේශපාලනඥයෝ මේ රටේ සිටිනවා නේද? එසේ නම් ඔවුන් මේ වන විට රට ගොඩගත යුතුයි නේද? නමුත් එසේ සිදු වී නැහැ. මිනිසුන් මෙවැනි දේවල් ප්‍රකාශ කරන්නේ මගේ ප්‍රකාශ හේතුවෙන්. එසේ නම් මාව පරිණත දේශපාලනඥයකු ලෙස පිළිගන්නේ නැත්තේ මම ඇත්ත කතා කිරීම නිසාද? ජනතාවට බොරු කියනවා නම් ජනතාවට ටොෆි, චොක්ලට් දෙනවා නම් ඔහු පරිණත දේශපාලනඥයෙක්. මට ඒ දේශපාලනය වැඩක් නැහැ. මට අවශ්‍ය ලෝකයේ දියුණු රටවල්වල දේශපාලනඥයෝ වගේ ඇත්ත කතා කරලා දේශපාලනය කිරීමටයි.

නමුත් ජනතාව ඉල්ලා සිටින්නේ ටොෆි, චොක්ලට් ලබාදෙන දේශපාලනඥයන් නම්?

මට අවශ්‍ය නැහැ එවැනි දේශපාලනයක්. මට අවශ්‍ය ජනතාවට යහපතක් කිරීමට හැකි දේශපාලනයක්. මට අවශ්‍ය මේ රට ගොඩනගන්න. ඒ හින්දා මම ඇත්ත කතා කරනවා.

ඔබට චෝදනාවක් තිබෙනවා ඔබ වටේ සිටින පිරිස තරහා කරගන්නවා කියලා?

කවුද වටේ සිටි පිරිස කියන්නේ?

අර්ජුන. කිඳෙල්පිටිය, ටිරාන්, කැටගොඩ, තෙවරප්පෙරුම?

තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමැති ඔහුට ලබාදී තිබෙන වාහනවලට අමතරව අමාත්‍යාංශයේ තවත් වාහන භාවිත කිරීමට මම විරුද්ධව පියවර ගත්තා. එය මගේ රාජකාරියක්. අර්ජුන, ටිරාන් මගේ ප්‍රතිපත්තියේ හිටියේ නැහැ. මම විරුද්ධ වුණා. පස්සේ මට මඩ ගැහුවා. රාජපක්ෂලා, කැටගොඩට මිලියන තිහක් දුන්නා. එයට කෑදරවෙලා තමයි ඔහු ගියේ. කිඳෙල්පිටිය දේශපාලනය කළේ නැහැ. ඔහුට තිබුණේ අමුතුම දේශපාලනයක්. මෙවැනි පිරිසට මාත් සමග දේශපාලනය කිරීමට නොහැකි වුණා. එවැනි පිරිස මාව අතහැරලා ගියේ ඔවුනට පිරිසුදුවට වැඩ සිදු කරන ස්ථානයක සිටීමට නොහැකි නිසයි.

බොහෝ ජනතාව කැමති හිටපු හමුදාපතිට. දැන් සිටින දේශපාලනඥයාට වැඩි කැමැත්තක් නැහැ?

ඒ චරිතය දැන් විශ්‍රාම ගිහින්. එසේ විශ්‍රාම ගිහින් නිකන් ඉන්නවාට වඩා මෙලෙස හරි රටට වැඩක් කිරීමට තමයි මම උත්සාහ කරන්නේ. අඩුම තරමින් දැන් මගේ ආසනයේ ජනතාවට හෝ මගෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා.

ඔබ දිගටම දේශපාලනයේ නිරත වෙනවාද?

මම තව අවුරුදු පහක් පාර්ලිමේන්තු දේශපාලනයේ නිරත වෙනවා. ඉන්පසුව පාර්ලිමේන්තු දේශපාලනය නවත්වනවා. විවේකයෙන් ගත කරනවා.

ශිරෝමි රත්නායක