මල් වවන මුවාවෙන් පවත්වා ගෙන ගිය ගංජා ජාවාරමක් වටලයි
මල් වගාවක් පවත්වා ගෙන යන මුවාවෙන් කර ගෙන ගිය ගංජා ජාවාරමක් වැටලීම මාරවිල පොලීසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.
පසුගිය 25 වැනිදා සවස නාත්තන්ඩිය – පනන්ගොඩ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත. අක්කර 48 ක් විශාල පොල් ඉඩමක් තුළ මල් වගාවක් සිදු කරන මුවාවෙන් මෙම ගංජා වගාව සිදු කර ඇත. එම ස්ථානයේ තිබී ඉතාමක්ම සරුවට වැවුණු ගංජා පැල 1100 ක් තම බාරයට ගෙන ඇති මාරවිල පොලීසියේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නාත්තන්ඩිය සහ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.එක් සැකකරුවෙක් ගංජා වගාවේ හිමිකරු වන අතර,අනෙක් සැකකරු සේවකයෙකු ලෙස හදුනා ගෙන ඇත.
සැකකරුවන් විසින් වගා කර ඇත්තේ කේරල ගංජා නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා ගංජා විශේෂයක් බව පොලීසිය කියයි.මාස 1 ½ ක් පමණ වන ගංජා පැල අඩි 02 සිට 5 ක් පමණ උසට වැවී තිබුණි.
සාමාන්‍යයෙන් ගංජා පැල ලබා ගන්නේ බීජ රෝපනය කිරීමෙන් වුවත් සැකකරුවන් මෙහිදී අතු රිකිලි බද්ධ කර පැල ලබා ගැනීමට කටයුතු කර ඇති බවක්ද දක්නට ඇත.ප්ලාස්ටික් පෝච්චි වල විවිධ කෘමි නාශක යොදා ගනිමින් ගංජා පැල ඉතාමත්ම සරුවට ගලා කර තිබුණි.බොහෝ ගංජා පැල මල් පිපී ඇති බවක්ද දක්නට තිබුණි.
සැකකරුවන් අදාල ඉඩම පළතුරු වගා කිරීම සදහා යැයි පවසා බදු පදනමක් මත ලබා ගෙන ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.එම ස්ථානයේ තිබී ගංජා පානය කිරීම සදහා සැකකරුවන් විසින්ම සකස් කරන ලද විශේෂ උපකරණයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් බාරයට ගෙන ඇති ගංජා තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැත. සැකකරුවන් සහ ගංජා තොගය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.