News

මහ පාර මැද පොලිස් නිලධාරියෙකු යකා නටයි

මහ පාර මැද පොලිස් නිලධාරියෙකු යකා නටයි

මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදි අද උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බවයි.

ලොරි රථ රියැදුරෙකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේදි මහරගම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

අදාළ වීඩියෝ දර්ශන වල දැක්වෙන්නේ අනතුර සිදුකළ ලොරි රථයේ රියැදුරාට මහරගම පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු විසින් සිදුකරන ලද පහරදීමක් බවද අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ යම් අයෙකු අතින් රිය අනතුරක් සිදුවිය හැකි නමුත්, මේ ආකාරයෙන් පොලිස් නිලධාරියෙකු පහරදීම කිසිලෙසකින් පොලිස් දෙපාර්තමේන්තුව අනුමත නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

අනතුරට ලක්වූ මහරගම පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.