News

නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

මොරගහකන්ද ජලාශයට සිය කුඹුරු ඉඩම් ලබාදුන් නාඋල කොන්ගහවෙල රජාවෙල ගම්මානේ පදිංචි පවුල් හාරසියයක පමණ දෙනා 31 පෙරවරුවේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ. විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් කෑ කෝ ගසමින් මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගය හරස් කොට මෙම විරෝධතාවය පැවැත්විණි.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වූයේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා තම පාරම්පරික ගොවිතැන් බත් සිදුකරගෙන ආහාර ලබාගත් සහ ජීවත් වූ කුඹුරු ඉඩම් සියල්ල ලබා දුන් බව ය.

ඒ සඳහා වසර තුනහමාරක් පමණ කාලයක් ගත වී ඇතත් විකල්ප කුඹුරු ඉඩම් නොමැති නිසා සම්පූර්ණයෙන්ම ජන ජීවිතය ආර්ථිකය අඩාල වී තිබෙන බවය. බලධාරීන් මේ පිළිබඳව මුනිවත රකින බව ද ඔවුහු කෑගසමින් චෝදනා කරන්නට වූහ.

නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණු අතර මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගය හරස් කරමින් වාහන ගමනාගමනයට ද බාධා කරමින් මෙම විරෝධතාවය පැවැත්වූ අතර නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ ප්‍රධාන මාර්ගයෙන් ජනතාව ඉවත් කිරීමට උත්සාහ කළ ද එහිදී උණුසුම් තත්ත්වයක් ඇති විණි. විරෝධතාකරුවන් කියා සිටියේ විරෝධතා වේ නිරත වන ජනතාව ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරිය සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙසය.

පසුව නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ සහකාර පොලිස් අධිකාරිවරයා පැමිණ නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයසේකර මහත්මිය සමග සාකච්ඡා කොට ඔවුන්ට සාකච්ඡාවක් ලබා දීමට පියවර ගත්හ.

විරෝධතාකරුවන් දස දෙනෙකු පොලීසිය ‍ප්‍රාරාදේශීය ලේකම්වරිය සමග සාකච්ඡාවකට සහභාගී වූ අතර එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ සති 2ක කාලයක් ඇතුළත මහවැලි අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ මේ සඳහා වගකිවයුතු බලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙසය.

පසුව ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයසේකර මහත්මිය කියා සිටියේ දැනට ලබා ගෙන ඇති ඉඩම් වලට විකල්ප ඉඩම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ය. කෙසේවෙතත් විරෝධතාකරුවන් කියා සිටියේ දැනට ලබා දී ඇති ඉඩම් ජනතාව පදිංචි වී සිටින ස්ථානයේ සිට කිලෝමීටර් 70 ක දුරින් කුඹුරු අක්කරයක් ලබාදීම සඳහා පියවර ගනිමින් තිබෙන බවය. ජනතාව දැඩි අසීරුතාවකට පත් වන බව ද ඔවුහු පෙන්වා දෙන්නට වූහ.

එමෙන්මරජාවෙල ගමන් එහි පදිංචිව සිටින සියලුම දෙනා ගොවිතැන් බත් වලින් ජීවත් වූ බවත් බොහෝ දෙනෙකු කුලීවැඩ කරමින් එළවළු වෙළඳාම කරමින් ආදී විවිධ රැකියාවල නිරත වූ බව ද සඳහන් කර සිටියහ .එම සියලු ජනතාව මේ වන විට අඩපණවී දැඩි අපහසුතාවයකට හා උග්‍ර පානීය ජල හිඟයකට ආහාර හිඟයකට මුහුණ පා තිබෙන බවද ඔවුහු පැවසූහ.

මහවැලි ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට ප්‍රාදේශීය ලේකම්වරිය පොරොන්දු වීමත් සමඟ උද්ඝෝෂණයට එක් වූ පිරිස පිටව යන්නට වූහ.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස