News

මුන්දලම කලපුවට ඉස්සන් පැටව ලක්ෂ 13ක් මුදා හැරේ (Photos)

“මල කලපුවක් ” ලෙස හදුනා ගෙන තිබූ මුන්දලම කලපුවට ඉස්සන් පැටව් ලක්ෂ 13 ක් මුදා හැරීම පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගියදා සිදු කරන ලදි.

ඉස්සන් සහ මත්ස්‍ය පැටවුන් සාමාන්‍යයෙන් මුදා හැරීම සිදු කරණු ලබන්නේ වැව් වලටය.ඒ අනුව ධීවර දෙපාර්තමේන්තුව විසින් කලපුවකට ඉස්සන් පැටවුන් මුදා හැරීමක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ධීවර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති 2018 කලපු සංවර්ධන වැඩ සටහන යටතේ මෙසේ මුන්දලම කලපුවට ඉස්සන් පැටවුන් මුදා හැරීම සිදු කරන ලදි.විවිධ පාරිසරික හේතු නිසා මුන්දලම කලපුව තුළ මත්ස්‍ය ඝනත්වය පසුගිය කාලයේ අඩුවූ අතර,මත්ස්‍යයින් බෝ වීමද අඩු වී තිබුණි.මෙම තත්ත්වය හේතුවෙන් මුන්දලම කලපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තය කර ගෙන ජීවිකාව ගෙවූ ගම්මාන රැසක ජනතාව දැඩි අසීරු තත්ත්වයකට මුහුණ දී තිබුණි.

එම තත්ත්වයෙන් ධීවරයා මුදා ගැනීම අරමුණු කරගෙන කලපුවට ඉස්සන් පැටවුන් මුදා හැරීම සිදු කළ බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක අයි.එම්.ජී.සරත්චන්ද්‍ර මහතා පැවසීය.මුන්දලම කලපුවට ඉස්සන් පැටවුන් මුදා හැරීම සදහා ධීවර දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්ෂ 12 ක මුදලක් වැය කර තිබුණි.