News

මෛත්‍රි එළවන සටනට මන්ත්‍රීවරු 19යි හිටපු ආණ්ඩුකාරවරුන් 3යි සංවිධායකයන් 54යි එකතු වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරනු ලබන කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනකු හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනකු හා ආසන සංවිධායකවරුන් 54 දෙනකු සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙස නම් කර ඇති එම කමිටුව සමග පසුගිය සතියේදී පැවැති සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු දුරකථනය මගින් සම්බන්ධ වී සහාය පළ කරන බව පවසා ඇත.

හිටපු උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගේ නිවසේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. මේ සඳහා පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කර ගැනීම සඳහා ආසන සංවිධායකවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකට පවරා ඇත. මීට අමතරව දැනට ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකුගේ සහායද මේ සඳහා ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනකු සිටින අතර ඉන් හය දෙනෙක් මේ වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහාය පළ කිරීමට එක්ව සිටිති. කෙසේ වෙතත් පක්ෂ නායකත්වය සමග තවදුරටත් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල යන අය පවසති.