News

යුධ හමුදාවෙන් යාපනය පූජකතුමන්ලාට නිවාස හයක් සාදාදෙයි

යාපනය,කරෙයිනගර්,තිණ්නපුරම් ශිවන් කෝවිලේ පූජකතුමන්ලාගේ පරිහරණය වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනාවන් ඉදිකළ නිවාස හයක් පූජකයින් වෙත පැවරීම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(09) සිදුකෙරිණ.

කරෙයිනගර්,තිණ්නපුරම් ශිවන් කෝවිලේ පාලක සභාවේ ඉල්ලීම මත කරෙයිනගර් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වය යටතේ යාපනය ආරක්ෂක සේනා 513 බළසේනාවේ නිළධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් 5වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ හා 11 වන පාබල හමුදා නිළධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ නිවාස ඉදිකොට තිබිණ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ මෙහෙයවීම යටතේ යුධ හමුදා නිළධාරීන් විසින් නිවාස ඉදිකිරීමේ කටයුතු සිදුකරනු ලැබීය. පූජක නිවාස පැවරීමේ වැඩසටහනට කරෙයිනගර්,තිණ්නපුරම් ශිවන් කෝවිලේ පූජකතුමන්ලා, යාපනය නාගරික කොමසාරිස් ආර්.ටි.ජයසීලන් මහතා,යාපනය ආරක්ෂක සේනා උසස් නිළධාරීන්,ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

වවුනියාව – මාධව කුලසූරිය