News

රනිල් අගමැතිධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම ජනවාරි 07 කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

අග්‍රාමාත්‍ය පදවියෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කොට ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 07 වන්දා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඕෂල හේරත් සහ පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර මෙම පෙත්සම් අද(10) බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසටය.

පෙත්සම සලකා බැලීම ජනවාරි මස 7 වැනිදා සිදුකරන බවත් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ශවකරුවන්ට දන්වා සිටියි.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ඇමති මණ්ඩල සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 53 දෙනෙකු නම් කර ඇත.