News

රවී කරුණානායකට තවත් නඩුවකින් ඇප

රවී කරුණානායකට තවත් නඩුවකින් ඇප

රුපියල් බිලියන 36.98ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට සහ විත්තිකරුවන් හත්දෙනා ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ඇප මත මුදාහැරීමට එලෙස නියෝග කර ඇත.

එම ඇප ඉල්ලීම දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

එම ශරීර ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු විත්තිකරුගේ ළඟම ඥාතියෙකු විය යුතු අතර ඇපකරුවන් සිය පදිංචිය තහවුරු කරන ග්‍රාම සේවා සහතිකය සහ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ නොමැති බවට පොලිස් සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට ද නියෝගයේ සඳහන් විය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවත් එම විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන හා විගමන පාලකවරයා ඇතුළු ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙස නියෝග කර තිබේ.

වැඩිදුර නඩු විභාගය මැයි මස 11 වනදා දක්වා කල්තැබුණි.