News

රු. ලක්ෂ 30කට අධික වටිනා මුදල් සමග යුවළක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුතු මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස කුවේටය වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් සහ කුවේට් ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ඊයේ (26) 6.15 ට කුවේට් බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් මොවුන් පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි.

විවිධ ගමනාන්ත කරා පිටත්ව යන ගුවන් මගීන්ගේ සියලු ගමන් මලු ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, ඔවුන්ගේ මෙම පරීක්ෂණයේ දී මොවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ සගවා ගෙන තිබූ මුදල් තොගය අනාවරණය කරගෙන තිබුණා.

පසුව මෙම මුදල් තොගය සහ මෙම යුවළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇති අතර , එහිදී ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 30 ක මුදලක් සහ කුවේට් ඩිනාර් 2,410 ක මුදලක් ද රේගු නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

විවාහක යුවළක් වන මොවුන් දෙදෙනාගෙන් කාන්තාව මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර , ස්වාමිපුරුෂයා කුවේට් ජාතිකයෙක් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.