News

මහ බැංකුවෙන් මහජනතාවට නිවේදනයක්

වැටෙන රුපියල රැකගන්න මහ බැංකුවෙන් පිළියම්

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමේ සැලසුමේ පියවර රැසක් මුළුමනින්ම ආපසු හරවා ඇත.

ඒ අනුව විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් 10%ක් අනිවාර්යයෙන් මහ බැංකුවට විකුණන ලෙසටත්, අපනයන ඉපැයීම්වලින් 50ක් මහ බැංකුවට විකුණන ලෙසත් නියම කරමින් මහ බැංකුව නිකුත් කර තිබූ චක්‍රලේඛ දෙකම පසුගිය සතියේ බදාදා (17 වැනිදා) අත්හිටුවා ඇත.

මාර්තු 23 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා බැංකු විසින් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර මිලදී ගැනීමද තහනම් කර තිබේ. අදාළ චක්‍රලේඛ නිකුත් කර තිබුණේ මෙරට ඩොලර් සංචිත වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහාය.

පසුගිය සතිය වන විට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 ඉක්මවා තිබුණු අතර මෙම අර්බුදය වළකාලීම සඳහා ගනුලැබූ අදාළ අත්හිටුවීම් ​හේතුවෙන් පසුගිය සිකුරාදා (19 වැනිදා) වන විට එහි අගය සුළු වශයෙන් (රුපියල් 198 දක්වා) පහත බැස තිබිණි. මේ පිළිබඳව ‘අරුණ’ට අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරන ලද්දේ දුෂ්කර අවස්ථාවලදී ආර්ථිකය කළමනාකරණය කර ගැනීම සඳහා මෙවැනි හදිසි තීරණ ගැනීමට සිදුවන බවයි.

‘‘ක්‍රිකට් මැච් එකක වුණත් ඉලක්කයට යන කොට හැම ඕවරයකටම එකම ලකුණු සංඛ්‍යාවක් දිගටම ගහන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. සමහර ඕවර්වල ලකුණු අඩුවෙලා සමහර ඕවර්වල ලොකු ලකුණු සංඛ්‍යාවක් ගහන්න පුළුවන්. ඒ අතර විකට් වැටෙන්නත්, නිලකුණු ඕවර් යැවෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ ඉලක්කයට යන එක. අපිට එතැනට යන්න පුළුවන්. එහෙම තමයි ආර්ථිකයක් පාලනය කරන්නේ’’ යැයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නයන තරංග ගමගේ