News

විමල්ගේ නඩුව ජුලි මස 29 වනදා දක්වා කල්යයි

රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අමාත්‍යවරයෙකුව සිටියදී අයථා ලෙස උපයාගත් බවට චෝදනාවන්ට ලක්වූ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරයි.

අද (27) මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් නම්කර තිබෙන ආයතන 08ක පවතින පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්ති පාර්ශ්වයට අවසර ලබාදෙන ලෙස අල්ලස් කොමිසමට නියම කර ඇත.

මෙම කටයුතුවල ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව නැවත ජුලි මස 29 වනදා කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ.

2010 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014-12-31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීතියානුකූල ආදායම අභිභවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.