විමල් ආණ්ඩුව කඩනවා
කර්මාන්ත ඇමැති විමල් වීරවංශ කැබිනට් ඇමැති ධුරයක් දරමින් ආණ්ඩුව විනාශ කරන වැඩපිළිවෙළක නිරතව සිටින බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂට පැමිණිලි කර තිබේ.
අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පෙරේදා (10 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරු 43 දෙනෙකු මෙම සාකච්ඡාවට පැමිණ සිටියහ.
පසුගිය දින කිහිපයේ ඇමැති විමල් වීරවංශ කර ඇති ප්රකාශවලින් ආණ්ඩුව දැඩි අපහසුතාවට ලක්ව ඇති බව මන්ත්රීවරුන් අගමැතිවරයාට පෙන්වා දී ඇත. ඊට අදාළ වීඩියෝ පට පවා අගමැතිවරයාට නැරඹීමට ලබා දී ඇති බවද වාර්තා වෙයි. රජය ආරක්ෂා කිරීමට තමන් කැපවී සිටින මොහොතක ඇමැති විමල් වීරවංශ සම්බන්ධයෙන් නිවැරැදි තීන්දුවක් ගන්නා ලෙස මන්ත්රීවරුන් අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශගෙන් අදහස් විමසන බවට අගමැතිවරයා මන්ත්රීවරුන්ට පොරොන්දු වී ඇත. මෙම සාකච්ඡාවට ඇමැති ජී.එල්. පීරිස් හා ජොන්ස්ටන් ප්රනාන්දු ද එක්ව සිටියහ. සාකච්ඡාවේදී ප්රමිත බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරාල හා රාජිකා වික්රමසිංහ යන පාර්ලිමේන්තු මන්ත්රීවරු අදහස් දක්වා ඇත.
උදයජීව ඒකනායක