News

අප්‍රේල් ශරීර සුවතා මාසය ලෙස නම් කරයි

අප්‍රේල් ශරීර සුවතා මාසය ලෙස නම් කරයි

‘‘සෑම පියවරක්ම දහසක් වටී’’ යන්න තේමාව කර ගනිමින් ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ මාසය ලෙස අප්‍රේල් මාසය නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය තීරණය කර ඇත.

මේ වන විට පුද්ගලයන්ගේ ක්‍රියාශීලීබව අඩුවීම හා වැරදි ආහාර රටාවන් හේතුවෙන් බෝ නොවන රෝග සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් සියයට 83 ක්ම මෙම බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අතර ඉන් සියයට 34 ක්ම හෘදය හා රුධිර වාහිනී සම්බන්ධ රෝග තත්ත්වයන් වන අතර රුධිර පීඩනය, හෘදයාබාධ සහ ආඝාතය ඊට හේතුවන බව අනාවරණය කරගෙන ඇත.

සෑම දරුවකුම දිනකට පැයක කාලයක් සතියේ දින හත පුරාම ක්‍රියාශීලීව ගත කළ යුතු අතර වැඩිහිටි පුද්ගලයකු අවම වශයෙන් දිනකට විනාඩි 30 ක් බැගින් සතියකට දින 5 ක් හෝ මධ්‍යස්ථ ක්‍රියාකාරකම්වල නියැළිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අයත් වේ.

වයස්ගත පුද්ගලයන් ද තමන්ගේ ශරීර සමතුලිතබව පවත්වාගෙන යාම සඳහා සුදුසු ව්‍යායාමයක නිරත විය යුතු බවත්, එසේ නොවන්නේ නම් අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අඝාතය, පිළිකාව, ස්ථුලභාවය, දියවැඩියාව, අස්ථි තුනීවීම හේතුවෙන් ඒවා බිඳීයාම හා මාංශපේශී දුර්වල වීම වැනි රෝගාබාධවලට ගොදුරුවිය හැකි බව බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පවසයි.

ශ්‍රියානි විජේසිංහ