ශ්‍රීලනිප සංවිධායකවරු 37ක් සජිත් සමග සාකච්ඡාවක – ශ්රීලනිපය සුරකින්නෝ සජිත්ට ළං වෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට විරෝධය පල කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු තිස්හත් දෙනෙකු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සමග ඊයේ (10 වැනිදා) දහවල් සාකච්ඡාවක් පවත්වා ඇත.
අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති මෙම සාකච්ඡාවට මලික් සමරවික්‍රම, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ යන ඇමැතිවරුන් සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයට ද සම්බන්ධ මෙම සංවිධායකවරු ඇමැති පාඨලී චම්පික රණවක සමග අද (11 වැනිදා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර ඊයේ (10 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ ඔවුන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට සිය සහයෝගය ලබා දෙන බවයි.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ ලේකම් රජික කොඩිතුවක්කු ප්‍රකාශ කළේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව රේස් එකේ ඉදිරියෙන්ම ඉන්නා අපේක්ෂකයාට නව සංවිධානය සහාය පළ කරන බවයි.
මෙහිදී ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ගේ පක්ෂය විනාශ කරන කඳවුරකට යන්න පුළුවන් නම් අපිට පුළුවන් ඊට ප්රතිවිරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න. පාක්ෂිකයන් ආරක්ෂා කරන්න. ඒක අපේ වගකීමක්.
රාජපක්ෂවරු පරාජය කිරීමට, ඊට ප්‍රතිවිරුද්ධ යෝජනාවලියක් සජිත් ප්‍රේමදාසට, මංගල සමරවීරට, අර්ජුන රණතුංගට පක්ෂ නායකයන්ට අපි ඉදිරිපත් කරලා තියෙනවා.
ඒකට අපිට සාධනීය උත්තර ලැබෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ඔවුන් සමග එක් වෙනවා.
උදයජීව ඒකනායක/ වරුණි පෙරමුණ
